යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට (2014 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,487ක් පමණයි. යහපාලන ආණ්ඩුවේ පාලන කාලය අවසන් වෙද්දී (2019 වසර අවසානයේදී) ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,032ක් වෙලා. ඒ කියන්නේ රුපියල් බිලියන 5,545කින් වැඩි වෙලා.
ඉහත සංඛ්‍යා ගැන ටිකක් වැඩිපුර කතා වෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට සම්බන්ධ අය මේ ණය වැඩි වීම උලුප්පා පෙන්වනවා. අද මහ බැංකු අධිපති කබ්රාල් සහභාගී වූ සාකච්ඡාවකදීත් ඔහු මේ ණය වැඩි වීම ගැන කතා කළා. සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛණ ගැන වැඩි අවබෝධයක් නැති, පක්ෂයක් බදා ගෙන නැති අයට පවා මේ සංඛ්‍යාලේඛණ ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ තරම් ණය අරගෙන යහපාලන ආණ්ඩුව කළේ මොනවද? ඇරත් ඔය තරම් බදු වැඩි කිරීමෙනුත් පසුව?
යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි ඇතැම් දේශපාලනඥයින්ට අනුව එම ආණ්ඩුව ණය අරගෙන තිබුණේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය ගෙවන්න. එහෙම ණය ගෙවුවානම් ණය අඩු නොවී වැඩි වුනේ කොහොමද?
රජයේ ආදායමට වඩා වියදම වැඩි වූ විට අඩුව පියවන්න සිදු වන්නේ ණය වලින්. ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එකයි. 1955 වසරෙන් පසුව මේ තත්ත්වයේ යම් වෙනසක් ඇති වුනේ 2017 හා 2018 දෙවසර තුළ පමණයි. එම දෙවසර තුළ ණය පොලී වියදම් හැරුණු විට රජයේ අනෙකුත් වියදම් ආදායමට වඩා අඩුවෙන් පවත්වා ගැනීමට ආණ්ඩුව සමත් වුනා. මෙය හැඳින්වෙන්නේ ප්‍රාථමික අයවැය පරතරය ලෙසයි. මේ දෙවසර තුළ ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත්, 1955න් පසුව අනෙකුත් සෑම වසරකදීම ලංකාවේ දැකිය හැකි වුනේ ප්‍රාථමික අයවැය හිඟයක්.
යහපාලන ආණ්ඩු කාලය ගත්තත් 2017 හා 2018 දෙවසර තුළ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තත් 2015දී හා 2019දී ඊට වඩා විශාල ප්‍රාථමික අයවැය හිඟයක් පැවති නිසා යහපාලන ආණ්ඩුවද සමස්තයක් ලෙස ලංකාවේ ණය මල්ල ලොකු කිරීමට මිස කුඩා කිරීමට දායක වුනේ නැහැ. අදාළ කාලය තුළ සමස්තයක් ලෙස යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා රුපියල් බිලියන 371ක් වියදම් කළා.
යහපාලන ආණ්ඩුව අවුරුදු හතරටම ආදායම ඉක්මවා වියදම් කළේ රුපියල් බිලියන 371ක් පමණක්නම් රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,545කින් වැඩි වුනේ කොහොමද?
ප්‍රාථමික අයවැය හිඟය හැරුණු විට මේ වැඩි වීමට හේතු දෙකක් තිබෙනවා. එකක් පරණ ණය වල පොලිය එකතු වීම. දෙවැන්න පරණ ණය වල වෙළඳපොළ අගය වෙනස් වීම. මෙසේ වෙළඳපොළ අගය වෙනස් වීමට බොහෝ දුරට හේතු වන්නේ විණිමය අනුපාතය වෙනස් වීමයි. එහෙත් එය එකම හේතුව නෙමෙයි.
උදාහරණයක් විදිහට 2015 වසර තුළ පමණක් රුපියල් බිලියන 7,487 සිට රුපියල් බිලියන 8,599 දක්වා රුපියල් බිලියන 1,112කින් රාජ්‍ය ණය ඉහළ ගියා. එහෙත් එම වසරේ රජයේ ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 320ක් පමණයි. (මෙයත් විශාල මුදලක්.) ඉතිරි මුදල වැඩි වුනේ රුපියල් බිලියන 510ක පොලී එකතු වීමෙන් හා රුපියල් බිලියන 283කින් ණය වල අගය වෙනස් වීමෙන්.
යහපාලන ආණ්ඩුව පැවති 2015-2019 අතර සිදු වූ රුපියල් බිලියන 5,545ක ණය වැඩි වීමෙන් රුපියල් බිලියන 3,610ක්ම පොලී එකතු වීම්. තවත් රුපියල් බිලියන 1,564ක් ණය වල අගය වෙනස් වීම්. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව ඇත්තටම ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන 371ක් පමණක් වුවත් තවත් රුපියල් බිලියන 5,174කින් ණය ඉහළ ගොස් තිබෙන්නේ පරණ ණය වලට පොලී එකතු වීමෙන් හා අගය වෙනස් වීමෙන්. මෙයින් යහපාලන ආණ්ඩුව කාලයේම ගත් ණය වල පොලිය එකතු වීම හා අගය වෙනස් වීම රුපියල් බිලියන 167ක් පමණයි. ඉතිරි කොටස තනිකරම පරණ ණය.
යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම – රුපියල් බිලියන 537
පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම – රුපියල් බිලියන 12,494
මුළු ණය – රුපියල් බිලියන 13,032
මේ පරණ ණය රාජපක්ෂ ණයද?
රාජපක්ෂ දශකය තුළ රුපියල් බිලියන 2,144 සිට (2004 වසර අවසානයේදී) රුපියල් බිලියන 7,487 දක්වා (2014 වසර අවසානයේදී) රුපියල් බිලියන 5,343කින් රාජ්‍ය ණය ඉහළ ගියා. හැබැයි යහපාලන ආණ්ඩුව කාලයේදී වගේම රාජපක්ෂ දශකය තුළත් ඔය තරමින් ණය ඉහළ ගියේ ආදායම ඉක්මවා වියදම් කළ නිසාම නෙමෙයි. එම කොටස රුපියල් බිලියන 966ක් පමණයි. රුපියල් බිලියන 3,094ක්ම ණය පොලී. තවත් රුපියල් බිලියන 1,440ක් ණය වල අගය වෙනස් වීමේ ප්‍රතිඵල. ඒ අතර රාජපක්ෂ ණය වලම පොලිය හා අගය වෙනස් වීමේ ප්‍රතිඵලද තිබුණත් වැඩි කොටස පරණ ණය.
මේ අනුව, 2019 අවසානය වන විට වාර්තා වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයෙන් රාජපක්ෂ ණය ප්‍රමාණය කොපමණද?
යහපාලන ණය, පොලිය හා අගය වෙනස් වීම – රුපියල් බිලියන 537
රාජපක්ෂ ණය, පොලිය හා අගය වෙනස් වීම – රුපියල් බිලියන 2,449
පරණ ණය, පොලිය හා අගය වෙනස් වීම – රුපියල් බිලියන 10,046
මුළු ණය – රුපියල් බිලියන 13,032
ඔය විදිහට ගණන් හදාගෙන ආපස්සට ගියොත් ලංකාවේ රාජ්‍ය ණය කියා කියන්නේ නිදහසින් පසු හැම ආණ්ඩුවක් විසින්ම ආදායම ඉක්මවා වියදම් කිරීමේ ප්‍රතිඵලයක් මිසක් එක ආණ්ඩුවක වරදකින් සිදු වූ දෙයක් නෙමෙයි. මේ ණය උගුලෙන් ගැලවෙන්නනම් අයවැය හිඟය අඩු කර ගැනීම මිස වෙනත් විකල්පයක් නැහැ.