Monday, January 20, 2025

යුක්‍රේන ආරක්ෂක කවුන්සිල ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉදිරි දින 30ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඊයේ (24) රැස්වූ යුක්රේන ආරක්ෂක කවුන්සිලය විසින් සිය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව යුක්‍රේනයට මේ මොහොත වනවිට දී රුසියානු හමුදා තර්ජනය දැඩි ලෙස දැනෙමින් අවදානම් මට්ටමක පවතිනවා.

මේ වනවිට යුක්‍රේනය නිවේදනය කර ඇත්තේ, රුසියාවේ ජීවත් වන යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසටයි.

ඒ බව යුක්‍රේනයේ ‘කිව්’ (kyiv) තානාපති කාර්යාලය මගිනුයි නිවේදනය කෙරුණේ.

මෙවන් තත්ත්වයක් මත ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ, සුළු මොහොතක් තුළ දී රුසියාව විසින් පූර්ණ වශයෙන් මහා පරිමාණ යුද ආක්‍රමණයක් යුක්‍රේනය තුළ සිදු කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන් බවයි.

මේ හේතුවෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් යුක්‍රේන රජයට රුසියානු ආක්‍රමණයක් ගැන අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.

රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේනයේ මොස්කව් හිතවාදී කලාපයට ඇතුල් වී ඇති අතර, ඔවුන් තවදුරටත් ඉදිරියට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමරිකානු විදේශ ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, තමන්ට පවතින තත්ත්වය නිශ්චිත වශයෙන් ම විග්‍රහ කිරීමට නොහැකි වුවත්, ගෙවුණු පැය 24 – 48ක කාලය තුළ යුක්‍රේනයට අයත් සියලුම දේශසීමා, එනම්,දකුණ,නැගෙනහිර සහ උතුර ආදී සෑම පැතිකඩක් වෙතම රුසියානු හමුදා ක්‍රමයෙන් ඇතුල් වී අවසන් බවයි.

එබැවින් ඇමරිකානු හමුදා ද පවතින යුද වාතාවරණය හමුවේ මේ වනවිට ඕනෑම හදිසි අවස්ථාවකට සූදානමින් සිටින අතර, හදිසියේ හෝ රුසියාවෙන් ප්‍රහාරයක් යුක්‍රේනයට එල්ල වුවහොත්, ඒ වෙනුවෙන් යුක්‍රේන රජයට සිය හමුදා නිවැරදි තැන ස්ථානගත කරගනිමින් සම්පූර්ණ ආක්‍රමණයක දී සිදු විය යුතු පෙර සූදානමකින් යුතුව කටයුතු කරන මෙන් අමරිකානු විදේශ ලේකම්වරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඔිස්ට්‍රෙලියානු අගමැති ස්කොට් මොරිසන් ද ප්‍රකාශ කළේ, නියත වශයෙන්ම ඉදිරි හෝරා කිහිපය තුළ අනිවාර්යයෙන්ම රුසියානු ආක්‍රමණය ස්ථිර බවයි.

තවද නේටෝ සංවිධානයේ සාමාජික ලැට්වියාවේ අගමැතිවරයා ද විදෙස් මාධ්‍ය සමග පැවති සාකච්ඡාවේ දී කියා සිටියේ, රුසියානු හමුදා දැඩි උද්වේගකාරී සහ ප්‍රහාරාත්මක යුද බලඝණයකින් සන්නද්ධව යුක්‍රේනය මුළුමනින්ම ඈදා ගැනීමට මාන බලමින් සිටින බවයි.

රුසියාවේ මෙම යුද තීන්දුව හේතුවෙන් ලෝක බලවතුන්ගේ දැඩි අවධානය යොමුව ඇති අතර, ආසියාතික බලවතුන් ලෙස පිළිගැනෙන ජපානය ද පෙරේදා (23) දින රුසියාවට සම්බාධක පැනවීමට තීරණය කළ අතර, ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ද රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ මෙම නොමනා ක්‍රියාව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළා.

එමෙන්ම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද සිය විවේචනය් රුසියාවට එරෙහිව පළ කළේ යුක්‍රේනය වැනි රටක නිදහස නැති කිරීමට අයුතු ලෙස යුද පසුබිම භාවිත කිරීම සම්බන්ධයෙනි.

පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කිර්බි ඊයේ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ මෙවැන්නක්.

”අපි නිසැකවම විශ්වාස කරනවා, රුසියාව සතුව අතිරේක හමුදාවකුත් ඉන්නවා කියලා. එය ගණනින් කොච්චරක් ද කියල අපට හරියටම කියන්න නම් බැහැ. නමුත් එක දෙයක් විශ්වාසයි. ඉදිරි පැය කිහිපයේ දී රුසියාව යුක්‍රේනයට පහර දෙනවා..මේ වනවිටත් රුසියානු හමුදා යුක්‍රේනයට කඩා වැදී අවසන්..” (“We certainly believe that Russian, additional Russian military forces are moving into that region. We can’t confirm with any great specificity the numbers, and what the formations are, what the capabilities are, but we certainly believe that that’s happening.”)

මේ වනවිටත් රුසියාවේ නොමනා හැසිරීම් හේතුවෙන් ජපානය,ඔිස්ට්‍රෙලියාව මෙන්ම ජර්මනිය, ඇමරිකාව සහ කැනඩාව ඇතුළු බටහිර සහ ආසියාතික රාජ්‍යයන් ද යුක්‍රේනය ආක්‍රමණයට එරෙහිව රුසියාවට විරුද්ධව සම්බාධක පනවා තිබෙනවා.

මේ අතර, යුක්‍රේනය, යුරෝපා සංගමය ඇතුළු බටහිර රාජ්‍යයන් මෙන්ම නේටෝ හමුදාවන් සමඟ සමීපව කටයුතු කිරීම ද රුසියානු කෝපය ඇවිස්සීමට තවත් මූලබීජයක් බවයි ජාත්‍යන්තර යුද සහ දේශපාලනික විචාරකයින් පෙන්වා දෙන්නේ.

සති කිහිපයක් මුළුල්ලේ රුසියාව සිය යුද බලය විදහා දක්වමින් යුක්‍රේන දේශසීමාහි මෙන්ම බෝල්ටික්ස් සාගර කලාපයේ ද යුද අභ්‍යාසවල නිරත වුණා.

කෙසේවෙතත්, රුසියාව, දිගින් දිගටම කියා සිටියේ ආක්‍රමණයක් පිළිබඳව බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනාවන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

කෙසේවෙතත්, ඊයේ නැගෙනහිර යුක්රේන දේශසීමාවන්ට යොදවා ඇති භට පිරිස් වැඩි කිරීමට රුසියාව පියවර ගනු ලැබූ අතර, යුක්‍රේනයේ කලාප දෙකක් ස්වාධීන රාජ්‍ය ලෙස නම් කිරීමට ද කටයුතු කළා.

ඒ අනුව රුසියාවේ සිට යුරෝපා කලාපයට බෝල්ටික්ස් සාගරය හරහා ස්වභාවික වායූන් ප්‍රවාහනය කරන නෝඩ්ස් ස්ට්‍රීම් 2 ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවන්ට අනුමැතිය ලබාදීම අත්හිටුවන බවත් ජර්මානු චාන්සලර් ඕලැෆ් ස්කොල් බර්ලින් නුවර දී නිවේදනය කළා.

බ්‍රිතාන්‍යයේ වත්කම් හිමි රුසියානු වාණිජ ආයතන 6කට සම්බාධක පනවන බවට ද බ්‍රිතාන්‍යය විසින් ද නිවේදනය කරනු ලැබුවේ පවතින යුද තත්ත්වයට අනුවයි.

ඒ අනුව, එම ආයතනවල වත්කම් රඳවා ගනිමින් රුසියානු බිලියනපතියන් 5 දෙනෙකුටත් බ්‍රිතාන්‍යයේ සංචාරය තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රවාහනය, බලශක්ති, විදුලි සංදේශන, ඛනිජ සම්පත් යන අංශ සඳහා ඔස්ට්‍රෙලියාවත් ඊයේ රුසියාවට සම්බාධක පැනවූවා.

ඒ අනුව, රුසියානු ආරක්ෂක කවුන්සලයේ නිලධාරීන් 8 දෙනෙකුට ඔස්ට්‍රෙලියාවේ සංචාරය තහනම් වනවා.

රුසියානු – යුක්රේන අර්බුදය යුද ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාගත හැකි බවත්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

එළඹෙන හෝරා කිහිපයේ දී රුසියාව විසින් යුක්‍රේනයට පහරදීමක් සිදු කළහොත්, එය ලෝකය තුළ වර්ෂ 1939 – 1945 කාලය වකවානුව තුළ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදී පාලන ක්‍රමයෙන් උමතුවට පත් වී ලෝකයක් වැනසුවාක් වැනි වූ ජීවිත දහස් ගණනක් විනාශ විය හැකි 03 වැනි ලෝක යුද්ධයක ආරම්භයක් වීමේ ද ඉඩ ප්‍රස්ථාව මෙමගින් නිර්මාණය වීමේ දැඩි අර්බුදයක් මතුව තිබෙනවා.

ගෝලීය වසංගත තත්ත්වයක් තුළ එවැන්නක් සිදු වුවහොත් දියුණු රාජ්‍යයන්වලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආසියාතික සහ අප්‍රිකානු රාජ්‍යයන්වලට ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපානු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles