Thursday, January 23, 2025

යුනිලිවර් සමාගමෙන් රේගුවට බිලියන ගණනක පොල්ලක්

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි ප්‍රමාණයක බදු වංචාවක් සිදුකර තිබෙනවා. මෙම වංචාව සිදුව තිබෙන්නේ පසුගිය යහපාලන රජය සමයේදීයි. යහපාලන රජය සමයේදී සිදු වූ වංචා දූෂණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු‍ වෙමින් බලයට පත් වූ වත්මන් පාලකයන්ද නීතිමය පියවර ගැනීම වෙනුවට වංචනිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.

2018 ඔක්තෝබර් – 2019 අප්‍රේල් කාලසීමාව තුළ යුනිලිවර් සමාගමේ සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පාම් ඔයිල් ෆැටි ඇසිඩ් නමැති සංඝටකය ආනයනය කිරීමේදී රේගු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු 25% ක බදු මුදල වංචා සහගත ලෙස ගෙවීම පැහැර හැර තිබෙනවා. අදාල සංඝටකය ආනයනය කිරීමේදී HS අංක 3823.19.20 යටතේ ආනයනය කළයුතු වුවත් ඒවා ආනයනය කර තිබෙන්නේ HS අංක 3823.19.90 යටතේයි. මේ හරහා අදාල බදු මුදල් නොගෙවා සිටීම සමාගම සමත් වී තිබෙනවා.

කෙසේ නමුත් රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම වංචනික ක්‍රියාව හරහා රුපියල් මිලියන 570 කට අධික මුදලක් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් රේගුවට ගෙවිය යුතු බවයි. මෙම මුදල සහ මුදල නොගෙවා සිටීමට අදාල දඩ මුදල ලෙස රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවන ලෙස රේගු බළධාරීන් සමාගමට දන්වා ඇති නමුත් එම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්පසු රේගු බළධාරීන් විසින් 2021 ජනවා‍රි මස 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ 19/2021 අංකය යටතේ යුනිලිවර් සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් පවසන්නේ මෙම නඩුව සමාගමට වාසි සහගත වන පරිදි සමථයකට පත් කර ගන්නා ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වන බවයි. ඒ වත්මන් ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන, දැරූ පුද්ගලයන් හරහාය.

යුනිලිවර් සමාගමේ නීති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලක්සරා මාරපන මහත්මියයි. ඇය ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතාගේ බිරිඳ වන අතර නවීන් මාරපන මහතාගේ පියා කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට අදාලව පිහිටුවා ඇති සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. අනෙක් පැත්තෙන් ගාමිණී මාරපන මහතාගේ සහෝදරයා පසුගිය යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තිලක් මාරපන මහතායි.

තිලක් මාරපන මහතා යහපාලන ආණ්ඩුවේ සිටිමින්, එදා විපක්ෂයේ සිටි වත්මන් පාලකයන්ට උපරිම සහයෝගය දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් ආණ්ඩුවේ උපරිම සහයෝගයද මාරපන පවුලේ සාමාජිකයන්ට හිමි වේ. මෙම තත්වය යුනිලිවර් සමාගම අනිසි ලෙස භාවිතා කරමින් අදාල නඩුවට බලපෑම් කරමින් සිටී. ආණ්ඩුවේ ආයතනයක් වන රේගු දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුවකදී ආණ්ඩුව රේගු දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් සෘජුව හෝ වක්‍රාකාරව ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් යුනිලිවර් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් එම පාර්ශ්වය බේරා ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බවයි රේගු ප්‍රධානීන් පවසන්නේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles