Tuesday, December 24, 2024

රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ 20ක් නෑ

පිළිකා, ඒඩ්ස්, වකුගඩු රෝග, ඇදුම, සමේ රෝග ආදී රෝග රැසකට ප්‍රතිකාර ලෙස ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 20ක් මේ වනවිට රජයේ රෝහල්වල නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, සුදු රුධිරාණු ආශ්‍රිත පිළිකා රෝග සඳහා ලබාදෙන Procarbazine Capsules (50mg), තයිරොක්සින් හෝර්මෝන පාලනයට ලබාදෙන Propylthiouracil Tablet (50mg), වෛරස ගණයේ පිළිකා සඳහා ලබාදෙන Cytarbine ඖෂධයේ මිලිග්‍රෑම් 100ක් අඩංගු වන මිලිලීටරයේ සහ මිලිලීටර් පහේ එන්නත් කුප්පි, පිළිකා රෝගවලට ප්‍රතිකාර සඳහා ලබාදෙන Bevacizumab සහ Asparaginase එන්නත් කුප්පි ද වේ.

කොවිඩ්-19 ආසාදනයෙන් කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්වූ රෝගීන්ට මෙන්ම රූමැටික ආතරයිටීස් රෝගයට අත්‍යවශ්‍ය ඖෂධයක් වන ටොසිලිසුමාබ් ඖෂධය රජයේ රෝහල්වල නොමැති බව මීට පෙර කිහිපවරක්ම ‘මව්බිම’ පුවත්පත මගින් අනාවරණය කළ අතර මේ වන විට ද එම ඖෂධය රජයේ රෝහල්වල නොමැත.

සැත්කම් ආදියේදී නිර්වින්දය සඳහා භාවිත කරන Vecuronium bromide එන්නත (මි.ග්‍රෑම් 10 කුප්පි) ද රජයේ රෝහල්වල මේ වනවිට නොමැති බව වාර්තා වේ.

ඒඩ්ස් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා Abacavir පෙත්ත (මි.ග්‍රෑම් 300) මෙන් ම, Abacavir (මි.ග්‍රෑම් 60) සමග එන මි.ග්‍රෑම් 30 Lamivudine පෙත්තද රජයේ රෝහල්වල නොමැත.

එසේ ම, ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිත කරන Clindamycin Phosphate මි.ග්‍රෑම් 300ක් අඩංගු මි.ලි. 2 එන්නත නොමැත. රක්තවාතය සහ වකුගඩු ගල් සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා Allopurinol නමැති පෙත්ත ද cholecalciferol යනුවෙන් හැඳින්වෙන විටමින් D අඩංගු පෙත්ත ද රුධිර කැටි ගැසීමේ සංකූලතා සඳහා භාවිත කරන Phytomenadione (මි.ග්‍රෑ.5) පෙත්ත ද මේ වනවිට රජයේ රෝහල්වල නොපවතී.

මානසික රෝගී තත්ත්වයන් සඳහා යොදාගන්නා Lorazepam එන්නත, නින්ද නොයෑමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් සඳහා ලබාදෙන Melatonin ඖෂධ පෙත්ත, රුධිර පීඩනය අඩුකිරීම සඳහා ලබාදන Sodium nitroprusside එන්නත සේම සමේ රෝග චිකිත්සාගාරයන් සඳහා අවශ්‍ය Betametha sone දියර ඖෂධය සහ කහපාට මෘදු පැරපින් ද රජයේ රෝහල්වල නොමැති ඖෂධ අතර වේ.

මේ අතර, ඖෂධ ආනයනය සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඇතැම් ඖෂධ වර්ග මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතත් එම ටෙන්ඩර් බොහොමයක් ටෙන්ඩර්කරුවන්ට ලබාදීමේ කටයුතුවල විශාල ප්‍රමාදයක් පවතින බවත් ඒවාට අදාළ ලිපිගොනු සති ගණන් තිස්සේ සංස්ථාවේ අදාළ ප්‍රධාන බලධාරියාගේ මේසය මත ගොඩගසා තිබෙනු ඇතැයි ද වාර්තා වේ.

ඖෂධ නියාමන අධිකාරියේ ලක්ෂ 11ක් පමණ  දත්ත මැකීයෑමේ සිද්ධියෙන් පසු, ඖෂධ වර්ග ලියාපදිංචි කිරීමේ කටයුතු මේ දිනවල අඩපණ වී තිබීම ද ඖෂධ ආනයනයට යම් බලපෑමක් සිදුවන බව ද කියති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles