Thursday, January 16, 2025

රසායනික අවි භාවිත කිරීමේ සූදානමක් ඇති බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – සෙලෙන්ස්කි

රසායනික අවි භාවිත කිරීමේ සූදානමක් ඇති බවට රුසියාව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

මේ අතර යුක්රේනයේ අගනුවරවන කීව්, රුසියානු හමුදා විසින් සියලු දිශාවලින් වටලා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා මේ වන විට කීව් අගනුවරට කිලෝමීටර් 3ක් පමණ ආසන්නයට පැමිණ අවසන්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කීව් ආසන්නයේ ඇති නීප්‍රෝ ඇතුළු ප්‍රධාන නගර 5ක බලය ද අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සමත්ව ඇති බවයි.

යුක්රේන ආක්‍රමණය ආරම්භයේ පටන් රුසියානු හමුදා විවිධ වර්ගයේ මිසයිල 775ක් එල්ල කර ඇති බව සිය බුද්ධි වාර්තා උපුටා දක්වමින් අමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

එවන් පසුබිමක මරියපෝල්, කිව් ඇතුළු ප්‍රධාන නගරවල සිටින ජනතාව ආරක්ෂිතව ඉවත් කිරිමට වැඩපිළිවෙළක් මේ වන විටත් යුක්රේනය විසින් සූදානම් කර අවසන්.

මේ අතර ඇමරිකාවේ සහය මත යුක්රේනය තුළ රසායනික සහ ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය සඳහා පර්යේෂණාගාර පවත්වාගෙන යන බවට රුසියාව එල්ල කරන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි අවධාරණය කරනවා.

”රසායනික සහ ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සඳහා අප සූදානම් වන බවට රුසියාව පවසනවා. නමුත් ඔවුන්ට තමයි එවැනි ක්‍රියාවක් සිදුකිරීමේ හැකියාව පවතින්නේ. රුසියානු ආරක්ෂක අංශ, ඔවුන්ගේ විශේෂ හමුදා බලකායන් ඔවුන්ගේ ක්‍රියාකලාපය තුළින් පෙන්වා දෙනවා මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතින බව. ඔවුන් එවැනි ක්‍රියාවන් වෙනත් රටවල් ඉලක්ක කර සිදුකර තිබෙනවා. ඔවුන් ඒ බව පිළිගෙනත් තිබෙනවා. ඔවුන් එයට සූදානම් වෙනවා. පසුව ඔවුන්ම ඒ බව පැමිණිලි කරනවා.”

එවන් පසුබිමක යුක්රේනයේ පර්යේෂණාගාර සතුව පවතින භයානක, ව්‍යාධිජනක (pathogens) විනාශ කර දමන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ඒවා සමාජයට නිරාවරණය වුවහොත් එමගින් ගෝලීය වශයෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින්.

විදෙස් වාර්තාවන්ට අනුව මේ වන විට කීව් නගරයේ සතරදෙසින්ම රුසියානු හමුදා වටකර තිබෙනවා.

යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉදිරි පැය කිහිපයක් තුළ කීව් අගනගරය රුසියානු හමුදා විසින් අත්පත් කරගනු ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී අගනගරයට ඇතුළුවීමට උත්සාහ දැරූ යුද රථ විශාල සංඛ්‍යාවක් විනාශ කර දැමීමට යුක්රේන හමුදාවන්ට හැකිවී තිබෙනවා.

රුසියානු ප්‍රහාරක ගුවන් යානා 10ක්ද යුක්රේන ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බව සඳහන්.

යුක්රේනය නිවේදනය කරන්නේ රුසියානු හමුදා භටයින් 12,000කට අධික සංඛ්‍යාවක් මේවන විට යුද ගැටුම් හේතුවෙන් මියගොස් ඇති බවයි.

නමුත් රුසියාව පෙන්වා දෙන්නේ මියගොස් ඇත්තේ සිය හමුදා සාමාජිකයින් 400 දෙනෙකු පමණක් බවයි.

මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන ක්‍රියාවලිය සඳහා අනුමැතිය ලබාදීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කර ඇති බව ලිතුවේනියා ජනාධිපති ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සාමාජිකත්වය ලබාදීම සඳහාවන වන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles