සිල් රෙදි ලබාදීමේ වැඩසටහන සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් ප්‍රේෂණය කිරීම සිදු වූයේ තම තනි තීරණය මත නොව කොමිෂන් සභාවේ සියලු සාමාජිකයන්ගේ ඒකමතික තීරණය මත බව විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින් පවසා සිටි එම කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා තමාට එරෙහිව නඟා ඇති සියලු චෝදනාවන්ට තමා නිවැරැදිකරු බව ද ඊයේ (14) පවසා සිටියේය.
සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට අනුෂ පැල්පිට මහතාට හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී විත්තිය වෙනුවෙන් නඩු විභාගය ආරම්භ කරමින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින් අනුෂ පැල්පිට මහතා ඊයේ (14) එසේ පැවසීය.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 2014 ඔක්තෝබර් මාසයේ ලිඛිත ඉල්ලීමක් කරමින් ආගමික සම්ප්රදාය සුරැකීම හා වර්ධනයට සිල්ගත් උපාසක උපාසිකාවන්ට මීටර් පහ බැගින් වූ සිල් රෙදි පන්ලක්ෂ හැත්තෑතුන් දහසක් බෙදාදීමට රුපියල් මිලියන 600ක මුදලක් ඉල්ලා සිටි බව ද නඩුවේ පළමු විත්තිකාර අනුෂ පැල්පිට මහතා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින් පවසා සිටියේය.
එම ඉල්ලීම අනුව කොමිෂන් සභා පත්‍රිකාවක් සකසා එය කොමිෂන් සභාවට ඉදිරිපත් කර සියලු සාමාජිකයන්ගේ අනුමැතිය මත මෙම මුදල් ප්‍රේෂණය කිරීම සිදු කළ බවත් අනුෂ පැල්පිට මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනට මුදල් ප්‍රේෂණය කිරීමක් සිදු කළ ද එම කාර්යය සඳහා සෘජුව හෝ වක්‍රව තමා දායක නොවූ බවත් එම මුදලින් කිසිදු ප්‍රතිලාභයක් තමා හෝ තම පවුලේ සාමාජිකයන් ලබාගෙන නොමැති බවත් එකදු හෝ සිල් රෙද්දක් තම දෑසින් නොදුටු බවත් විත්තිකාර අනුෂ පැල්පිට මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
නඩුවේ දෙවන විත්තිකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සාක්කි කූඩුවේ සිට සාක්කි ලබාදෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පැවසීය.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ මෙහෙයවීම මත සාක්කිදීම ඊයේ (14) ආරම්භ කළ ලලිත් විරතුංග මහතාගේ වැඩිදුරටත් සාක්කි අද (15) කල් තැබීය.
අධි චෝදනා 03ක් යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
නීතිඥ කාංචන රත්වත්තේ මහතා සමඟ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය