Saturday, May 18, 2024

මහ බැංකුවේ කීර්තිය නසන තවත් දූෂිතයෙක්‌

ශ්‍රී ලංකා  මහ බැංකුවේ මූල්‍ය ආයතන සඳහා නීත්‍යනුකූල බලපත්‍ර ලබා දීමේ දී අතිවිශාල දූෂණයක්  සිදු වී ඇති බවට බරපතළ සැකයක් මතුව ඇතැයි මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මෙය සිදුව තිබෙන්නේ මූල්‍ය ආයතනයක් තවත් මූල්‍ය ආයතනයක් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය  උල්ලංඝනය කිරීමට  මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය කටයුතු කිරීම තුළය.

වැඩිදුරටත් අනාවරණය වන ආකාරයට මෙකී අත යට ගනුදෙනුවට සම්බන්ධ සිදුවීම මෙසේය.

පසුගිය සමයේ කුඩා මූල්‍ය සමාගම් අවදානමෙන් මුදවා ගැනීම සඳහා සහ වත්කම් ප්‍රමාණය වැඩි කිරීමේ  පදනමින් නම් කළ මූල්‍ය සමාගම් කිහිපයක්  එකතු කිරීමට මහ බැංකුව දැනුම් දී ඇති අතර එහි දී චිලව් ෆිනෑන්ස් –  රිචඞ් පීරිස් ෆිනෑන්ස් සහ සර්වෝදය –  ජෝර්ජ් ස්ටුවර්ට් හී මූල්‍ය සමාගම වන  සමිට් ෆිනෑන්ස් එක් කිරීමට නියමිතව වී තිබේ.

ඒ අතර රජය හඳුන්වා දුන්  මුදල් රෙගුලාසි යටතේ මූල්‍ය ආයතන සඳහා නීත්‍යනුකූල බලපත්‍ර ලබා දීම නවතා, කිසියම් පාර්ශ්වයකට  මූල්‍ය සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් මින් පෙර ලියාපදිංචි වූ මූල්‍ය ආයතනයක් හරහා එය කළ යුතු බවට ද නියමයක් පනවනු ලැබිණ. ප්‍රයිම් ලෑන්ඞ් සමාගම මූල්‍ය ආයතනයක් සඳහා මහ බැංකුවෙන් ඉල්ලීමක් සිදු කළ අවස්ථාවේ නව මූල්‍ය ආයතනයක් වෙනුවට සෙලින්කෝ ග්‍රාමීන් ක්‍රෙඩිට් සමාගම මිලදී ගෙන සිය මූල්‍ය සමාගම් අපේක්ෂාව ඉටුකර ගන්නට සිදු වූයේ ද ඒ අනුවය.   අදාළ මිලදී ගැනීමෙන් අනතුරුව  ඔවුන් එය ප්‍රයිම් ග්‍රාමීන් ලෙස නම් කර ඇති අතර ඉතා කෙටි කාලයකින්  සෙලින්කෝ ග්‍රාමීන් ක්‍රෙඩිට් සමාගම (පසුව ප්‍රයිම් ග්‍රාමීන්) මිල දී ගැනීම වෙනුවෙන් වැය කළ මුදල මෙන් සිව් ගුණයක පමණ මුදලකට HNBවෙත විකිණීමට කටයුතු කර ඇත.

එම ගනුදෙනුවෙන් අනතුරුව නැවත වරක් ප්‍රයිම් ලෑන්ඞ් සමාගම මූල්‍ය ආයතනයක් සඳහා මහ බැංකුවෙන් ඉල්ලීමක් සිදු කළ අවස්ථාවේ සමිට් ෆිනැන්ස් PLC ආයතනය මිලියන 510 ක මුදලකට මිලදී ගැනීමට මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ  ප්‍රධානියා මැදිහත් වී ඇති අතර මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට බරපතළ අත යට ගනුදෙනුව සම්බන්ධව සැක සංකා මතුව ඇත්තේ ද එම ගනුදෙනුව සඳහා අවසර දීම තුළය.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට කිසියම් මූල්‍ය සමාගමක් තවත් සමාගමක් විසින් මිලදී ගෙන කෙටි කලකින් විකුණා දැමුවහොත් නැවත සැලකිය යුතු කාලයක් ගතවන තුරු එම සමාගමට මූල්‍ය සමාගමක් මිලදී ගැනීම වෙනුවෙන් අවසර ලබා දෙන්නේ නැත. ඒ අදාළ සමාගම පෙර මිලදී ගත් මූල්‍ය සමාගම කෙටි කලකින් විකුණනු ලැබුවේ මූල්‍ය සමාගමක් අනවශ්‍ය නිසා බවට මහ බැංකුව සලකන නිසාය.

ඒ අනුව ප්‍රයිම් ලෑන්ඞ් සමාගම මිලදී ගත් සෙලින්කෝ ග්‍රාමීන් ක්‍රෙඩිට් සමාගම (පසුව ප්‍රයිම් ග්‍රාමීන්) ඉතා කෙටි කලකින් විකුණා නැවත වරක් එම සමාගමට තවත් මූල්‍ය සමාගමක් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම සැක සහිත බවත් එම ගනුදෙනුව තුළ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ  ප්‍රධානියා සමිට් ෆිනැන්ස් හි5%ක කොටස් තමන්ට හිමි වන ලෙස එහි අධ්‍යක්ෂ මණ්ඩලයට මිතුරන් ඇතුළු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ කටයුතු සිදුව තිබෙන්නේ මූල්‍ය ආයතන එකතු කිරීමේ නියමයට අනුව කටයුතු කර නොතිබූ පසුබිමේ බවත් මීට පෙර චිලව් ෆිනෑන්ස් – රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගම් එකතු කිරීමට පෙර ඉන් එක් සමාගමක් වෙනත් ආයෝජකයකු වෙත විකිණීමට ඉල්ලා සිටි අවස්ථාවේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ  ප්‍රධානියා ඊට අනුමැතිය පළ නොකළ බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව අදාළ ගනුදෙනුව සැක සහිත බවත් මෙරට මූල්‍ය විනය සම්බන්ධව නරක පූර්වාදර්ශයක් මේ හරහා සැපයෙන හෙයින් ඒ සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කරන්නට මහ බැංකු අධිපතිවරයා කටයුතු කළ යුතුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles