යුක්රේනයට එරෙහිව යුද්ධය ආරම්භ කරමින් රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යුක්රේනය ප්‍රකාශ කළේ තම සෙබළුන් 40 දෙනෙකු සහ සිවිල් වැසියන් 10 දෙනෙකු රුසියානු ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එසේම, තම හමුදා භටයින් රුසියානු සෙබළුන් 50 දෙනෙකු ඝාතනය කළ බවද යුක්රේනය ප්‍රකාශ කළා.
රුසියානු ගුවන් හමුදා යානා 05ක්, හෙලිකොප්ටර් යානයක් සහ යුද ටැංකි 04ක් විනාශ කළ බව යුක්රේන හමුදාව නිවේදනය කළා.
කෙසේ වෙතත්, රුසියාව සඳහන් කළේ තම ප්‍රහාරවලින් යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු විනාශ කළ බවයි.
මේ වනවිට යුක්රේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එරට වැසියන්ට ආයුධ ලබාදීම ආරම්භ කර තිබෙනවා. හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසයි ජනාධිපතිවරයා යුක්රේන වැසියන්ට දැනුම් දුන්නේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් නේටෝ සමුළුවක් කැඳවන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලීමක් කළා.
කෙසේ වෙතත්, අර්බුදයක් පවතිද්දී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රුසියාවේ සංචාරයක නිරත වන අතර, අද ඔහු ජනාධිපති ව්ලැදිමීර් පූටින් හමුවී සාකච්ඡාවල නිරත වුණා.
යුද උණුසුමත් සමඟ වසර 07 කට පසුව ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් සටහන් වුණේ ඩොලර් 104 යි ශත 56 ක් ලෙසයි.
යුරෝපයේ ප්‍රධානම ගෑස් සපයන්නා රුසියාව වන අතර යුද ගැටුම් වර්ධනය වී එම ගෑස් සැපයුමට බාධා වුවහොත් යුරෝපයේ ගෑස් ඉල්ලුම මැද පෙරදිග කලාපයට විතැන්විය හැකියි.
එසේ වුවහොත් මැද පෙරදිග කලාපයේ ගෑස් සැපයුම සීමාසහිත වීමෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවකටද ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති.
ගැටුම් ආරම්භයත් සමඟ යුක්රේනය සිය ගුවන් කලාපය වාණිජ ගුවන් ගමන් සඳහා මුළුමනින්ම වසා දැමීමට පියවර ගත්තා.
රුසියානු – යුක්රේන යුද ගැටුම් හමුවේ මෙරට සංචාරක කර්මාන්තයට ද බලපෑමක් එල්ලවීමේ අවදානමක් මතුව තිබෙනවා.
පෙබරවාරි මාසය තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 11,826ක්.
එම මාසය තුළ යුක්රේන සංචාරකයින්ගේ පැමිණීම පැවැතියේ 03 වැනි ස්ථානයේ වන අතර යුක්රේන සංචාරකයින් 4,835 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
මෙරට තේ අපනයනය කරන රටවල් අතර ඉරාකය සහ තුර්කියට පසු 03 වැනි ස්ථානයේ පසුවන්නේ රුසියාව වන අතර 2021 වසරේදී රුසියාවට අපනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝ මිලියන 29ක්. එහි වටිනාකම රුපියල් මිලියන 24,822 ක්.
මෙරට තේ අපනයනය අතින් 18 වැනි ස්ථානයේ පසුවන යුක්රේනයට පසුගිය වසරේදී මෙරටින් තේ කිලෝ මිලියන 04ක් අපනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 4,279ක්.
රටවල් රැසකින් රුසියාවට සම්බාධක පනවමින් සිටින පසුබිමක ජාත්‍යන්තර බැංකු හරහා ගනුදෙනු කිරීම රුසියාවට මේ වනවිට ගැටලුවක් වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ අපනයනයටද ඒ හරහා සෘජු බලපෑමක් එල්ලවිය හැකියි.
දින ගණනාවක් තිස්සේ ලොව පුරා අවධානයට ලක් වූ රුසියානු – යුක්රේන යුද උණුසුම අද පුපුරා ගියා.
ඒ රුසියානු ජනාධිතිවරයා නැගෙනහිර යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟයි.
යුක්රේනයේ රැඳී සිටින විශේෂ නියෝජිතයා සදහන් කළේ මේ වන විට ප්‍රදේශ රැසකට මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි.
යුක්රේනයට එරෙහි යුද්ධය ආරම්භ කරමින් රුසියාව නැගෙනහිර ඩොන්බාස් වෙත පළමු ප්‍රහාරය එල්ල කළේ අද අලුයම 5ට පමණ.
යුද ප්‍රකාශ කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන සෙබලුන්ට දැනුම් දුන්නේ අවි බිම තබා යටත් වන ලෙසයි.
රුසියානු හමුදාවට අයත් යුද ටැංකි ඇතුළු බර අවි යුක්රේනයට ඇතුළුවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ වන විට යුක්රේනයේ කිවිව් අගනුවර ඇතුළු කාර්කීව්, ඔඩෙසා මාරියුපෝල් ඇතුළු ප්‍රදේශ 7කට පමණ රුසියානු හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා.
යුක්රේනයේ කිවිව් අගනුවරට ද මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වූ අතර ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ විදුලි බලාගාරයක්ද ගිනි ගැනීමකට ලක්ව තිබුණා.
CNN ප්‍රවෘත්ති සේවයට අයත් මාධ්‍යවේදියෙකුගේ සජීවී විස්තර වාර්තාකරණක් අතරතුරද ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබුණා.
මේ අතර යුක්රේනයේ කිව් අගනුවර රැඳී සිටින විශේෂ නියෝජිතයාද මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙමින් සිටින අතරතුර බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නා.
යුද ආක්‍රමණයන්ට ප්‍රතිප්‍රහාර දක්වමින් රුසියානු ගුවන් හමුදා යානා 5ක්, හෙළිකොප්ටර් යානයක් සහ යුද ටැංකි 4ක් විනාශ කළ බව යුක්රේන හමුදා නිවේදනය කළා.
එම මෙහෙයුම් අතරතුරදී රුසියානු හමුදා භටයින් 50 දෙනෙකුද මියගොස් ලක්වී තිබෙනවා.
කෙසේ වෙතත් රුසියාව පැවසුවේ යුක්රේනයේ ගුවන් කඳවුරු සහ ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීමට කටයුතු කළ බවයි.
මේ වන විට රුසියානු මිසයිල සහ ෂෙල් ප්‍රහාරවලින් යුක්රේනයේ පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
මේ වන විට යුක්රේනය සිය ගුවන් කලාපය වාණිජ ගුවන් ගමන් සඳහා මුළුමනින්ම වසා දමා ඇති අතර ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියේ ගුවන් ගමන් මාර්ග සටහන්ව තිබුණා.
AZOV (අසෝෆ්) මුහුදු කලාපයේ වාණිජ නෞකා ප්‍රවාහනය අත්හිටුවීමට රුසියාවද පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
එවන් පසුබිමක යුක්රේන ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනැම ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බවයි.
ඊට සහය දෙන ලෙස ඔහු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.
මේ වන විට යුක්රේන ජනාධිතිවරයාගේ උපදෙස් පරිදි එරට වැසියන්ට ආයුධ ලබාදීම ආරම්භ කර තිබෙනවා.
හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසත් ජනාධිපතිවරයා යුක්රේන වැසියන්ට දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර බයිඩ්න් පරිපාලනය නිවේදනය කළේ යුක්රේනයට යුද සහය ලබා දෙමින්, මේ වන විටත් අමෙරිකානු හමුදා භට පිරිස් යුක්රේන දේශ සීමාවන්ට අනුයුක්ත කර ඇති බවයි.
කෙසේ වෙතත් සිය මෙහෙයුම් සඳහා වෙනත් රාජ්‍යයන් මැදිහත් වුවහොත් ප්‍රතිවිපාක දරුණු විය හැකි බවයි රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ.
නේටෝ සංවිධානය පවසන්නේ මෙම ආක්‍රමණය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
යුද්ධය ප්‍රකාශ කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් නිව්යෝර්ක් වේලාවෙන් රාත්‍රී 9.40ට හදිසි ආරක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබුවා.
එහිදී යුක්රේන නියෝජිතයා රැසියා නියෝජිතයාට එල්ල කළේ දැඩි වාග් ප්‍රහාරයක්.
මේ අතර යුක්රේනයේ කිවිව් අගනුවර අතහැර දමා දහස් ගණන් ජනතාව පිටත්ව යමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
රුසියානු – යුක්රේන යුද උණුසුමත් සමඟ ලෝක ආර්ථිකයට මේවන විටත් එල්ල වී ඇති බලපෑම සුලුපටු නැහැ.
මෙම යුදමය තත්ත්වය යටතේ දිනක් තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගියා.
මෙලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගියේ වසර 7කට පසුව වීමත් විශේෂත්වයක්.
මෙම යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
රුසියාව සහ යුක්රේනය අතර යුද උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට අමෙරිකානු ඩොලර් 97ක්ව පැවැති බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 105 ඉක්මවා ගොස් තිබෙනවා.
විදේශ විනිමය හිඟය හේතුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකාව විශාල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම මෙරටට තවත් දරුණු බලපෑමක් එල්ල කරනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා
දෙන්නේ.
ඒ අනුව ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130 ද ඉක්මවනු ඇති බවට ඔවුන් මත පළකරනවා.
එමෙන්ම යුරෝපයේ ප්‍රධානතම ගෑස් සපයන්නාවන රුසියාව මෙම යුධ ගැටුම්වලට මුලපිරීමත් සමඟ ගෑස් සැපයුමට බාධා මතු වුවහොත් යුරෝපයේ ගෑස් ඉල්ලුම මැද පෙරදිග කලාපයට විතැන්වීමේ හැකියාවක් පවතිනවා.
එසේ වුවහොත් මැද පෙරදිග කලාපයේ ගෑස් සැපයුම සීමා සහිත වීමත් සමඟ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවකටද ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති.
මෙම ඉන්ධන සහ ගෑස් අර්බුදයත් සමඟ සමස්ත ලෝකයම දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.