Tuesday, November 19, 2024

රුසියාව සමඟ සටන් විරාමයකට සහ සාම සාකච්ඡා පැවැත්වීමට යුක්‍රේන ජනපති සූදානම්න්

වහාම රුසියාව සමඟ සටන් විරාමයකට සහ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රකාශකයෙකු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව සාකච්ඡාව පැවැත්වෙන් දින හා වේලාවන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරමින් සිටියි.

මේ අතර යුක්රේනය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා රුසියාව කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

රුසියාව යුක්රේනය සමඟ බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක්හිදී සාකච්ඡා කිරීමට සූදානම් බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසූ බව රුසියා නිල පුවත් ඒජන්සිය වන RIA වාර්තා කරයි.

නමුත් ඒ සඳහා යුක්රේනය “මධ්‍යස්ථ තත්වයක්” ප්‍රකාශ කළ යුතු බව ඔහු පැවැසීය. හමුදාකරණයෙන් ඉවත් වීම, යුක්රේනය කිසිදා නේටෝවට සම්බන්ධ නොවිය යුතු වීම වැනි කොන්දේසි මේ සඳහා ඉදිරිපත් කර තිබේ.

යුක්රේන ජනාධිපති මෙම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීම සඳහා කැමතිි බවට ප්‍රකාශ කර තබේ. කෙසේ වෙතත් එය යථාර්ථයක් වීම සඳහා යුක්රේන ජනපතිවරයා රුසියාව් කොන්දේසි සඳහා කැමැත්ත ප්‍රකාශ කළ යුතු වෙයි.

මීට පෙර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළේ යුක්රේන හමුදාව අවි බිම තබන තුරු සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි.

රුසියානු සහ යුක්‍රේන නිලධාරීන් මේ වන විට සාකච්ඡා පැවැත්විය යුතු වේලාවක් සහ ස්ථානයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසුවා.

එමෙන්ම රුසියාව සමඟ සාකච්ඡා කිරීම තම රජය ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා ද යුක්රේන ජනපතිගේ ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කරනවා.

ඔහු අවධාරණය කළේ, තමන්ගේ නිරන්තර ස්ථිරසාර මතය වන්නේ සාකච්ඡා මාර්ගයෙන් මෙම තත්ත්වය විසඳා ගැනීම සිදු කළ යුතුය යන්න බවයි.

මේ අතර යුක්‍රේනයේ කිව් අගනුවර රුසියානු හමුදා විසින් ආක්‍රමණය කර ඒ ආසන්නයේ පිහිටි ගුවන්තොටුපලක බලය තහවුරු කර ගැනීමත් සමඟම පිපිරීම් හඬක් ඇසෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු හමුදාව කිව් අගනුවර අසල පිහිටි ප්‍රධාන ගුවන්තොටුපොළෙහි පාලනය අත්පත්කර ගත් බව තම ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවයි රුසියාවේ ප්‍රවෘත්ති අංශ වාර්තා කළේ.

ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් 200ක් සහ ගොඩබෑමේ හමුදා බලකායක් යොදාගත් බව එහි දැක්වෙනවා.

කිව් නගරය ගුවන් ප්‍රහාරයන්ට ද ලක්වෙමින් පවතින අතර, නගරවාසීන් රැකවරණය පතා මේ වනවිට භූගත දුම්රිය ස්ථානවලට එක් රොක්ව සිටිනවා.

ඊයේ උදෑසන නගරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල වූ අතර, එහි ප්‍රතිඵල ලෙස ඇතැම් මහල් නිවාසවල ජනේල පුපුරා ගොස්, වීදිවල දැවැන්ත ආවාට නිර්මාණය වී තිබෙනවා.

නගරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙට්‍රල් බෝම්බ නිපදවන ලෙසට යි යුක්රේන රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන්ට මේ වනවිට ගිනි අවි 18,000ක් පමණ ලබා දී තිබෙනවා.

මේ අතර රටේ නායකත්වය පෙරළා දමන ලෙසට ව්ලැද්මීර් පුටින් යුක්රේන හමුදා සෙබලුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කළේ තමන්, කිව් නුවර හැර නො යන බවයි.

මේ අතර යුරෝපා සංගමය රුසියානු ජනාධිපතිගේ සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයාගේ වත්කම් අත්හිටුවා ඇති අතර එක්සත් රාජධානිය ද එය අනුගමනය කරන බවට යි ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය යුක්රේනයේ සිය සේවා කටයුතු අත්හිටුවීමට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම වෛද්‍ය සංවිධානය එහි ප්‍රංශ නාමය වන Medecins Sans Frontieres (MSF) ලෙසින් ද හඳුන්වනු ලබන අතර, බොහෝ විට යුද කලාපවල රැඳී සිටිනවා.

කෙසේ වෙතත් උග්‍ර වන ගැටුම් හේතුවෙන් එහි මෙහෙයුම් නතර කිරීමට තමන්ට බලකෙරුණු බවයි ඔවුන් පවසන්නේ.

මේ වන විට යුක්‍රේනයේ නවතම වාර්තාවන්ගේ දැක්වෙන්නේ රුසියානු හමුදාවන් කිව් අගනුවරට ඇතුළු වී එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගත ව සිටින බව යි.

මෙම ප්‍රදේශය කිව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබෙනවා.

යුක්‍රේන වේලාවෙන් පෙරවරු 10ට පමණ එරට, ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සතුරු රුසියානු ක්‍රියාකාරීන් එම ප්‍රදේශයට පැමිණ සිටින බවයි.

සාමූහිකව පෙළගැසී සතුරා සමග සටන් කිරීම සඳහා පෙට්‍රල් බෝම්බ සාදන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, ඔබොලොන්හි බොහෝදුරට හිස්ව ඇති මාර්ගවල සන්නද්ධ රථ ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ කීපයක් අන්තර්ජාලයේ ද සැරිසරනවා.

සිවිල් වැසියන් සහ හමුදා නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් අතර සටන් සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද ඒ අතර වනවා.

එමෙන්ම පිළිකා රෝහලක් ද රුසියානු ප්‍රහාරවලට ලක්වන වීඩියෝ සමාජ මාධ්‍යයෙන් හුවමාරු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය සිදු වූ යුක්‍රේනය චර්නොබිල් සංකීර්ණයේ පාලනය ද රුසියානුවන් විසින් අත්පත් කරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේනයේ වෙනත් ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් විශාල පිරිසක්, ගැටුම් හේතුවෙන් සහ රුසියානු හමුදා තම ප්‍රදේශය වෙත පැමිණීම හේතුවෙන් පළා යමින් පසුවනවා.

හංගේරියාව පවසන්නේ, සිය දේශසීමාව තුළ යුක්‍රේනය දෙස සිට කිලෝමීටර් පහක් පමණ දක්වා දිග මෝටර් රථ පෝලිමක් ඇති බවයි.

මේ අතර කළු මුහුදේ දූපතක සිටි දේශසීමා ආරක්ෂකයින් 13 දෙනෙකු රුසියානු යුද නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මරා දැමූ සිදුවීමක් ද වාර්තා වනවා.

දශක ගණනාවකට පසු යුරෝපයේ ඇති වූ පළමු ප්‍රධාන ගොඩබිම් යුද්ධයට ජාත්‍යන්තර ප්‍රජාව ද මේ වන විට ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ එක් රාජ්‍යයකට එරෙහි ව තවත් රාජ්‍යයක් සිදු කළ දරුණුම ප්‍රහාරය මෙය ලෙසට යි සැලකෙන්නේ.

2022 චැම්පියන්ස් ලීග් පාපන්දු  අවසන් මහා තරගයේ සත්කාරකත්වය දැරූ රුසියාව, යුක්රේන ආක්‍රමණය කිරීම හේතුවෙන්, එම සත්කාරකත්වයෙන් ඉවත්කර තිබෙනවා. 

එම තරග පැරිස් නුවරට ගෙන යාමට යි තීරණය කර ඇත්තේ.

රුසියාව ද ෆෝමියුලා 1 තරගයෙන් ද ඉවත්කර තිබෙනවා.

මේ අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සිය ගණනක් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකිනවා.

පුද්ගලයන් 1800ක් පමණ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, බොරිස් ජොන්සන් සහ අනෙකුත් ලෝක නායකයින් සමග ඊයේ උදෑසන සාකච්ඡා පවත්වනු ලැබුවා.

යුක්‍රේන හමුදාවන්ගේ නිර්භීතකම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය “ඉතාමත්ම පැහැදී සිටින බව” බ්‍රිතාන්‍ය අගමැති ප්‍රකාශ කළ අතර, නායකයින් දෙදෙනා රුසියාවට එරෙහි සම්බාධක පිළිබඳව සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, රුසියානු ගුවන් යානයක් කියෙව්හි ඩානිට්ස්කි දිස්ත්‍රික්කයට ඉහළ අහසේ දී වෙඩිතබා බිම හෙලූ බව යි.

නමුත් මෙම වාර්තාවන්හි සත්‍යතාව මෙතෙක් සනාථකර නැහැ.

ගැටුම් ඇරඹීමෙන් අනතුරුව, රුසියානු හමුදා විසින් උතුරුදිග යුක්‍රේනයේ, බෙලාරුසියානු දේශසීමාවට ආසන්නව, කියෙව් සිට කිලෝමීටර් 93ක් දුරින් පිහිටි පැරණි චර්නොබිල් න්‍යෂ්ටික සංකීර්ණයේ පාලනය ද අත්පත්කර ගෙන තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ යුක්රේන සොල්දාදුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස එහි රඳවාගෙන සිටින බවයි.

රුසියානු හමුදා, යුක්රේන සිවිල් වැසියන් සිටින ස්ථාන රැසක් ඉලක්කකර ගනිමින් ප්‍රහාර සිදු කරන බව යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

“රුසියානුවන් කියනවා ඔවුන් සිවිල් ස්ථානයන්ට පහර දෙන්නේ නැහැ කියලා, නමුත් පසුගිය පැය 24 තුළ සිවිල් ස්ථාන 33කට ප්‍රහාර එල්ල වෙලා තියෙනවා,” යනුවෙන් එම ප්‍රකාශකයා රොයිටර් පුවත් සේවයට කියා සිටියා.

ඊයේ සවස, යුක්‍රේන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රට ආරක්ෂා කරන ජනතාවගේ උත්සාහයන්ට සිය ආචාරය පුද කළ අතර සෙබළුන්ගේ සහ සිවිල් වැසියන්ගේ නිර්භීතකමට උපහාර දක්වනු ලැබුවා.

ඊයේ ගැටුම් හමුවේ අවම වශයෙන් යුක්රේන ජාතිකයන් 137ක් පමණ මියගිය බව සඳහන්ය.

යුක්‍රේනය අවි දැරිය හැකි සියලු ම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ මව්බිම ආරක්ෂා කිරීමට එක්වන ලෙසට යි.

ඒ සඳහා වයස් සීමාවක් බල නො පානා බව හමුදා අණදෙන නිලධාරියාගේ ප්‍රකාශයේ සඳහන් වුණා.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍ය අලෙක්සි රෙස්නිකොෆ්ගේ පසුව නිකුත් කළ ප්‍රකාශයකින් විස්තර කළේ, “වයස් සීමාවක් නැතැ”යි කීමෙන් අදහස් කළේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හැඟවීම සඳහා බවයි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට සම්බාධක පැනවීම සඳහා යුරෝපා සංගමයට සහ එක්සත් රාජධානියට සම්බන්ධ වීමට ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ධවල මන්දිරය මෙය හෙළිකර ඇත්තේ.

සිකුරාදා දෛනික මාධ්‍ය සාකච්ඡාවේ දී වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි පැවසුවේ යුරෝපීය මිතුරු රටවල තීරණයට අනුව එක්සත් ජනපදය රුසියානුවට එරෙහි සම්බාධක අනුමත කරන බවයි.

එහෙත් පුටින්ට සහ ලැව්රොව්ට එරෙහිව එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක මගින් වත්කම් කැටි කිරීමක් මිස සංචාරක තහනමක් සිදු නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය පනවන සම්බාධකවලට අනුව සංචාරක තහනමක් ද ඇතුළත් වනු ඇති බව මාධ්‍ය ප්‍රකාශිකාව කියාසිටියා.

සම්බාධක පිළිබඳ වඩාත් නිශ්චිත තොරතුරු පසුව නිකුත් කරන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනය සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වීම “සැබෑ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නොවන” බව පවසමින් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිකුරාදා වොෂින්ටනයේ මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගිනි අවි සමඟ සිදු විය නො හැකි බවයි.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අනුව සාකච්ඡා සිදු වීමට නම් යුක්රේනයේ රුසියානු හමුදා ක්‍රියාමාර්ග නතර කළ යුතු අතර රුසියානු හමුදා ඉවත් කර ගත යුතු බව ද ඔහු කියා සිටියා.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සාර්ථක කර ගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් කැමැත්තෙන් සිටින බවට එක්සත් ජනපදයට මෙතෙක් කිසිදු ආකාරයකින් හැඟී නො මැති බවයි නෙඩ් ප්‍රයිස් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර, යුක්‍රේනයේ කීව් අගනුවර අද අලුයම් කාලයේ නැවතත් පිපිරුම් හඬ ඇසුණු අතර, නගරය වටා දරුණු ගැටුම් ඇවිලී ඇති බව වාර්තා වනවා.

නගර මධ්‍යයෙන්ද මෙලෙස දැවැන්ත පිපිරුම් වාර්තා වී ඇති අතර, කාලතුවක්කු හඬ සැතපුම් ගණනාවකට අසන්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජනාකීර්ණ නිවහන් සංකීර්ණ අසල මෙන්ම කීව් සත්වෝද්‍යානය අවට ද මෙලෙස ගැටුම් ඇවිලී තිබෙනවා.

කීව් අගනුවර මෙලෙස දිසා කිහිපයකින් ප්‍රහාරවලට ලක්වන බව සඳහන්ය.

නගරයට විදුලිය සැපයෙන බලාගාරය ද රුසියානු හමුදා ඉලක්කයක් වන අතර, නගරයේ වීථිවල ගිනිගෙන දැවෙන වාහන රැසක් දක්නට ලැබී තිබෙනවා.

කෙසේ නමුත් කීව් හමුදා කඳවුරට එල්ල වූ රුසියානු හමුදා ප්‍රහාරය ව්‍යර්ථ කළ බවයි යුක්රේන හමුදාව සිය ෆේස් බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ.

මේ අතර යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට පක්ෂපාතී ප්‍රවෘත්ති ආයතනවලට සිය සමාජ මාධ්‍යයේ වෙබ් පිටුවලට පිවිසීම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles