විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොකළ යුතු බව අගමැති අවධාරණය කරයි

0
295

දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොවීම තහවුරු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී අවධාරණය කර තිබෙනවා.

වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 වනවිට සම්පූර්ණ කිරීම හා අනෙකුත් මූලික උපාධි වයස අවුරුදු 20 වනවිට සම්පූර්ණ කිරීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවැති හමුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළා.

මේ වනවිටත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නියමිත පරිදි විභාග පැවැත්වීම සහ ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදුවන බව මෙම හමුවේ දී අනාවරණය විය.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී යහපාලන කාලයේ පැවති ප්‍රතිපත්තිය වෙනුවට මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම හමුවේ දී ඉල්ලා සිටියේය.

සියයට 12ක්ව පැවති ආදායම් බදු යහපාලන ආණ්ඩුවෙන් සියයට 24ක් දක්වා වැඩි කර ඇති බවත් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් ලෙස සලකා ඒ මට්ටමෙන් මෙම බදු අය කිරීම සිදුවන බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

අදාළ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ඊට අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයේ දී ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව ජාතික වැටුප් ප්‍රතිපත්තිය මත පිහිටා වැටුප් කොමිසමේ නිර්දේශ අනුව වැටුප් සම්බන්ධ ගැටලු විසඳන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු මෙහි දී අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here