සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථවලට ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට පියවර ගැනේ

0
301

හදිසි අවශ්‍යතාවයක් සේ සළකා සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සදහා ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන්න යැයි බස් රථ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංගම සභාපතිවරයාට දැනුම් දී ඇත. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමකට අනුව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩි.එල්.කේ ද අල්විස් මහතා මෙම දැනුම් දීම කර තිබේ.

දැනට අතරමංව ඇති හෝ යම් අපහසුතාවයකට පත්ව ඇති සංචාරක බස්රථ සදහා ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන ලෙසත් මෙම බස්රථ සැබෑ ලෙසම විදේශිකයන් රැගෙන ගමනේ යෙදෙන බස්රථ විය යුතු බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

මීතොටමුල්ල, ජා-ඇල, අනුරාධපුරය, මහනුවර, දඹුල්ල, නුවරඑළිය හා හම්බන්තොට යන බස් රථ ඩිපෝ මගින් මෙම ඉන්ධන ලබාගැනීමේ පහසුව සංචාරක බස්රථ වලට ලබාදෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලංගම සභාපතිවරයාට යැවු ලිපිය මගින් උපදෙස් දී ඇත.

අදාළ බස්රථ වලට ඉන්ධන ලබාදීමේ දි ඒ මොහොතේදීම අදාළ මුදල් ලබාගන්නා ලෙස ද ලිපිය මගින් වැඩිදුරටත් උපදෙස් දි තිබේ.

සංචාරක බස්රථ හිමියන්ගේ සංගමය විසින් සංචාරකයන් රැගත් බස්රථ සදහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට මැදිහත්වන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා තිබු අතර ඇමතිවරයා එම ඉල්ලීම රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා වෙත යොමු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here