ජිනීවා සාකච්ඡා වලින් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩ නැගී ඇති විශ්වාසය හරහා රටේ ආර්ථිකය වර්ධනය කිරීමේ සුදුසුම මොහොත එළැඹ ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා 14 දින පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කළේ ජිනීවා යෝජනා වලදී මානව හිමිකම් තහවුරු වුවා සේම මෙරට ආර්ථික හිමිකම් ද තහවුරු කළ යුතු බවයි. මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවගේ අයිතීන් පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත්, ඒ හරහා ජනතාවගේ ආර්ථික නිදහස තහවුරු කළ හැකි බවත් තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.
2016 අයවැය සඳහා නව රජය සැලසුම් සැකසීමේදී රටේ ජනතාවගේ ආර්ථික හිමිකම් සුරැකීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඒ මහතා කීය. පසුගිය පාලන සමයේ පැවති විවිධ නීති රීති සහ රෙගුලාසි නිසා ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් බියක් දැක්වු බවත්, එම ආයෝජකයින් නැවත ආකර්ශනය කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය නිදහස් වටපිටාව සකසා දිය යුතු බවත් ශ්‍රි ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා
“ජිනීවා ඉවරයි. එයින් ලංකාවට සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුල විශ්වාසයක් තිබෙනවා. සිවිල් සමාජය විදියට අපට විශාල ඉඩක්, අවස්ථාවක් ලැබිලා තිබෙනවා. රටේ ආර්ථික සංවර්ධනය, ජනතාවගේ ආර්ථිකය වර්ධනය කිරීම සදහා මෙම අවස්ථාව භාවිත කිරීම වැදගත්. නිදහස තරමටම ආර්ථික සමෘද්ධිය වැදගත්. උදේ ගෙදරියන් යන පුද්ගලයා අද නිදහසේ සවසට ගෙදර එනවා. පැහැර ගැනීම්, අතුරුදන්වීම් අවම තත්වයක් අස්ථාපනය වී තිබෙනවා. නීතියේ ආධිපත්‍ය යම් තරමකට ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්ණ නැතිවා නොවෙයි. නමුත්, නීතියට සැවෝම යටයි කියන අදහස දැන් ඇවිත් තිබෙනවා.අධිකරණ කේෂත්‍රයේ බලවත් කඩාවැටීමක්, සැකයක් තිබෙන බව ඉතාමත් පැහැදිලියි.
අපි අය වැය ගැන කථා කරන්නේ මෙවැනි පසුබිමක. රටක ආර්ථික ශක්තිමත්වීම ඉබේ සිදුවන්නේ නෑ. ඒ සදහා යහපත් පරිසක් අවශ්‍යයි. නීතිය, ආයෝජන , ප්‍රතිපත්ති, සම්පත් සහ ආයෝජන අවස්ථා සදහා රජය විවිධ ඉල්ලීම්, ප්‍රකාශ සිදු කොට තිබෙනවා. ව්‍යාපාර ප්‍රජාවේ, පුරවැසියන්ගේ, සිවිල් සමාජයේ,ගෘහනියක්ගේ ආර්ථික බලාපොරොත්තු තිබෙනවා. රටේ ආර්ථිකයේ දිශානතිය තවමත් පැහැදිලි නෑ. ඒ සදහා වන නිශ්චිත මාර්ග සිතියමක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක්. ඒ අනුව තමයි ආයෝජකයින් තමන්ගේ අවස්ථා පිළිබද සලකා බලන්නේ.
ඌණ ක්‍රියාකාරී ආයතන රජයට පවරා ගැනීමේ පනත (expropriation bill) විදේශීය ආයෝජකයින් බිය ගන්වා තිබෙනවා. කොල්ලුපියේ හෝටලයක නවතින කෙනෙක් දකින්නේ රජයට පවරාගත්ත සෙලින්කෝ මහල් නිවාස සංකීර්ණය. හිල්ටන් පවරා ගැනීම නිසා ගොල්ෆෙස් හි හෝටල් සංකීර්ණ තවමත් බිම හාරනවා. ඒවායින් කාලතුවක්කු මතු වෙනවා. ආයෝජකයෝ බෝම්බ, කාලතුවක්කු තරමටම තමන්ගේ ව්‍යාපාර පවරා ගන්නවාටත් බයයි. ඊළඟ කාරණය පුහුණු ශ්‍රමිකයින්ගේ හිගයක් රටේ තිබෙනවා. විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන ඒම ගැන කථා වෙනවා. ඒ අතරම රටේ රැකියා වියුක්තියක් තිබෙනවා. තව පැත්තකින් බැලුවම බලශක්තිය රටේ දළ ආදායමෙන් 40% ක් වාහන ඉන්ධන, තාප විදුලි ජනනයට වැය වෙනවා. පුණර්ජනනීය බලශක්තිය පිළිබද ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. අබ්දුල් කලාම් ලංකාවට ඇවිත් මේ ගැන සාකච්ඡා කළා. නමුත් නැවත වරක් විදුලිබල මණ්ඩලය ‘තෙල් මාෆියාව‘ විසින් ගිල ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා.
මීට අමතරව ඉඩම් නිදහස් කිරීම , රබර්, තේ මිල පහත බැසීම , ඉදිකිරීම් කේෂ්ත්‍රයේ අර්බුදය, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් පිළිබද අපේක්ෂාව, ජාතික ප්‍රවාහන කේෂ්ත්‍රයේ අර්බුදය. රැකියාවලින් දොට්ට දැමීමේ, නැතිනම් වඩාත් එලදායී රැකියා ,සේවක අර්ථසාධක අරමුදල්, ආයෝජන, නව බදු, යනාදි ක්ෂේත්‍ර වල අර්බුද ගණනාවක් පවතින බවත් නව රජය සිය අයවැය යෝජනා මඟින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
මේ නිසා රටේ ආර්ථිකය මෙහෙයවන ව්‍යාපාරික ප්‍රජාව ඉදිරි අයවැයෙන් අපේක්ෂා කරන දේ පිළිබඳවද රජය අවධානය යොමු කළ යුතු බවත්, ඒ සඳහා මෙම අවස්ථාවට මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයින් සහ ව්‍යාපාරික සංගම්වල ක්‍රියාකාරිකයින් රැසකට මෙම මාධ්‍ය හමුවට ඇරයුම් කළ බවද කීර්ති තෙන්නකෝන් මහතා කීය.
මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වෙනුවෙන් රොෂාන් රාජදොරෙයි , ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය වෙනුවෙන් එස් පී ලියනාරච්චි සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වන කොනල් පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය වෙනුවෙන් එහිදී අදහස් දැක්වු එස් පී ලියනාරච්චි මහතා සඳහන් කළේ මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් අර්බුද රැසක් පැන නැගී ඇති බවයි. අමු ද්‍රව්‍ය සහ මානව සම්පත් යන අංශ වල මෙම අර්බුද පැන නැගී ඇති බව ඒ මහතා කීය. පෙදරේරුවන්, අත් උදව්කරුවන්, වඩු කාර්මිකයින්, ආදී ශ්‍රමිකයින්ගේ හිඟයක් පවතින බවත්, වතමන් පරපුර එම රැකියා සඳහා යොමු නොවීම නිසා මෙම තත්වය මතුව ඇති බවත් ලියනාරච්චි මහතා පෙන්වා දෙයි.එම වෘත්තීන් සඳහා සමාජ පිළිගැනීමක් ලබාදීම මඟින් මෙම රැකියා සඳහා අළුතින් තරුණයින් යොමුකරවා ගත හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉදිකිරීම් අමුදුව්‍ය වල මිල ගණන් වර්තමානයේ දැවෙන ප්‍රශ්ණයක් බව පෙන්වා දුන් ලියානාරච්චි මහතා කියා සිටියේ, වර්තමානයේ වැලි මිල සලකා බැලුවහොත් පවතින මිලට වඩා ප්‍රමාණවත් අඩු මුදලකට ඉන්දියාවෙන් හෝ මාල දිවයිනෙන් වැලි ආනයනය කළ හැකි බවයි. මීට අමතරව ගල් කොරි ආශ්‍රිතව වැලි නිෂ්පාදනය කිරීමේ තාක්ෂණයක් පවතින බව පෙන්වා දුන් ලියනාරච්චි මහතා කියා සිටියේ ඒ සඳහා විශාල මුදලක් ආයෝජනය කළ යුතු බවයි. එලෙස මුදල් ආයෝජනය කළද ඒ සඳහා බලපත්‍රය වලංගු වන්නේ වසරක කාලයක් සඳහා බවද ඒ මහතා කීය. මේ නිසා එම ව්‍යාපාරය සඳහා කිසිවකු ආයෝජනය නොකරන බව ලියනාරච්චි මහතා කීය.
මෙම හමුවට එක්වු ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වු කොනල් පෙරේරා මහතා කියා සිටියේ මෙරට ආයෝජන සහ ව්‍යාපාර සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවයි. එය අවම වශයෙන් වසර 10 ක කාලයක් සඳහා වත් ක්‍රියාත්මක විය යුතු බව ඒ මහතා කීය. බලයට පත්වු විවිධ ආණ්ඩු විසින් මෙරට අත්තනෝමතික ලෙස පැනවු විවිධ රෙගුලාසි සහ නීති නිසා මෙරට ආයෝජනය පිළිබඳ බලවත් අවිශ්වාසයක් සහ සැකයක් ගොඩනැගී ඇති බව ඒ මහතා කීය. මේ නිසා ව්‍යාපාරික සහ අයෝජන ක්ෂේත්‍රය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසා ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත යුතු බව කොනල් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
මෙරට වැවිලි ක්ෂේත්‍රය බරපතල කඩාවැටීමකට ලක්ව ඇති බව මෙම මාධ්‍ය හමුවට ලංකා වැවිලි කරුවන්ගේ සංගමය වෙනුවෙන් එක්වු රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.වැවිලි ක්ෂ්ත්‍රයේ නිෂ්පාදන වියදම අධික වී ඇති බැවින් වැවිලි කරුවන් ලබන ලාභය පහත වැටී ඇති බව ඒ මහතා කීය. එමෙන්ම වැවිලි බෝග වල මිල සම්බන්ධයෙන් පාලනයක් නොමැති වීම නිසා නිතර නිතර මිල උච්ඡාවචනය වීමෙන් තවදුරටත් වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජකයින් දැඩි අපහසුතාවට ලක්වන බවද රාජදොරෙයි මහතා පැවසීය. මේ නිසා ඉදිරි අයවැයෙන් වැවිලි ක්ෂේත්‍රයේ ගැටළු හඳුනාගනිමින් ඒවාට නිසි පිළියම් තමන් අපේක්ෂා කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.