මහර ගැටුම ගැන ප්‍රකාශ 255ක්

0
775

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 255 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඊයේ (12) දිනයේ දී පමණක් ප්‍රකාශ 27ක් සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 1 වන දා සිට විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර, මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා පත්කළ විශේෂඥ කමිටුව මේ වනවිට එම පරීක්ෂණ දෙකක් සිදුකර ඇති බව ද ඒ මහතා පවසයි.

ඒ පිළිබඳ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. ඊයේ දිනයේ දීත් ප්‍රකාශ 27ක් සටහන් කර තිබෙනවා. මේ අතර බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙකුගේ හා රැඳවියන් 16 දෙනෙකුගේ ප්‍රකාශ වෙනවා. ඒ අනුව මේ වන විට සටහන් කර ඇති මුළු ප්‍රකාශ සංඛ්‍යාව 255ක් පමණ වෙනවා. ඒ අතර බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ ප්‍රකාශ ද වෙනවා. මේ අතර ඊයේ දිනයේ දී අධිකරණය විසින් නම්කරන ලද විශේෂ මණ්ඩලය විසින් පශ්චාත් මරණ පරීක්ෂණ දෙකක් සිදුකර තිබෙනවා අදාළ සිද්ධියේ දී මියගිය රැඳවියන් සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් වු වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.“

මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වැනිදා හටගත් ගැටුමෙන් රැඳවියන් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 106 දෙනෙක්ට තුවාල සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here