Thursday, September 19, 2024

සියාම් ඝාතනයට වාස් ඇතුළු 6 ක් පෝරකයට

බම්බලපිටිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ වරදට චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කලා.

කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මෙය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් ජුරි සභාවකින් තොර මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස හිටපු නීතීපති පාලිත ප්‍රනාන්දු මහතා එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා පත් කළ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

2013 වර්ෂයේ අප්‍රේල් මස 4 සිට 22 දක්වාත් අතර කාලයේදී මොහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ යන අය සමග එක්ව මෙම ඝාතනය සහ පැහැරගැනීම සිදුකරන ලද බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරනු ලැබීය.

timthumb
ඝාතනයට ලක්වූ මොහොමඩ් සියාම්

පුද්ගලික අරමුණක් සහිතව සිදුකරන ලද මෙම පැහැරගැනීම සහ ඝාතනය නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටින කාල වකවානුවේදී සිදුකිරීම සහ සිය පුත්‍රයාද එයට හවුල්කර ගැනීම නඩුව පුරාම දැඩිලෙස විමර්ශණයට ලක්කල අතර මොහොමඩ් සියාම පැහැරගෙන ගොස් දොම්පේ ප්‍රදේශයේදී ඝාතනයට ලක්කර ඇතිබව එයින් හෙළිදරව් විය.

එසේම මෙම ඝාතනයට පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් ලෙස සම්බන්ධීම හේතුවෙන් හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන (51799) ගාමිණී  අතපත්තු සනත්චනද්‍ර,(68656) ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව,(61816) කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝ ය.ඔවුන් විසින් වාස් ගුණවර්ධනගේ නියෝග පරිදි මෙම ඝාතනය සිදුකර ඇතිබවද සාක්ෂි මගින් සනාථවිය.

වසර දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ සියාම් ඝාතන පරීක්ෂණ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානී අබේසේකර,  ප්‍රධාන පොලිස් පරිකෂක රංජිත් මුණසිංහ,  උප පොලිස් පරිකෂක උපාලි බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සිදු කළහ. එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස ලංකා ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මුල්ම වතාවට මරණ දඬුවමට ලක්වීම විශේෂ සිදුවීමක්ය.

රුපියල් ලක්ෂ 30 ක මුදලකට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කල බවට ඔප්පුවූ අතර තවත් එවැනි ඝාතන ගණනාවකටම වාස් ගුණවර්ධන හවුල් බව සනාථ විය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් සහ දක්ෂ අපරාධ පරීක්ෂණ නිළධාරියෙක් ලෙස නම්දරා සිටි වාස් ගුණවර්ධනට මරණ දඬුවම හිමිවීම දැඩිසේ ආන්දෝලනයට තුඩුදෙන සිදුවීමක් බවට පත්ව ඇත.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles