“දශලක්ෂ සංඛ්‍යාත නිහඬ ජනතාවගේ කටහඬ වීමට මට හැකිනම්, ඔවුන් දුකින් මුදවන ප්‍රධාන අවිය විමට මට හැකි නම්, මම එය මගේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය ලෙස සළකමි“ යනුවෙන් පැවසුවේශූර කථිකයෙකු, දේශකයෙකු, නව කතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, කවියෙකු, ගීත රචකයෙකු, නව සංකල්ප හා නිර්මාණ වලින් පිරුණු සිතක් ඇත්තෙකු හා පොදු ජන හදවත් දිනාගත් ජනතා දේශපාලකයෙකු හා නායකයෙකු වූ රණසිංහ ප්‍රේමදාසය මැතිතුමන්ය. ඔහු පොදු ජන හදවත් දිනාගත් ජනතා දේශපාලකයෙකු වශයෙන් කීර්තියට පත් විය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වෙතින් දේශපාලන අත්පොත් තැබූ මා හට දේශපාලනයේ ඉදිරි ගමනට අත්වැල වූයේ ආර්.ප්‍රේමදාස මහතාණන්ය. දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ විට පක්ෂ නායකයා වූ ප්‍රේමදාස මහතා මා හට පණිවුඩයක් එව්වේ සුචරිත මන්දිරයට පැමිණ තමා හමුවන ලෙසය. මා එතුමන් හමු වීමට නියමිත වේලාවට සුචරිතයට ගියෙමි.
රණසිංහ ප්‍රේමදාස මහතා මා බලාපොරොත්තුවෙන් සිටියේය. එතුමන් මා පිළිගෙන මගෙන් එකවර ඇසුවේ වජිර මේ පළාත් සභා ඡන්දයෙන් ගාලු දිස්ත්‍රික්කයේ පළමු වැනියා වෙන්න ඔබට බැරිද? මා එවිට කීවේ පළමු වෙනියා වෙන්න තිබුණ නමුත් දැන් මහ ඇමති අපේක්ෂකයා ලෙස එම්.එස්. අමරිසිරි මහත්මයා පක්ෂය විසින් නම් කරලා තියෙන්නෙ. ඒ නිසා අමාරුයි. ඇයි අමාරු? ඡන්දයට වියදම් කරන්න මුදල් නැද්ද ප්‍රේමදාස මහතා පෙරළා මගෙන් ප්‍රශ්න කළහ. මට පළමු වෙනියා වීමට තරම් ලොකු මුදලක් වැය කරන්න මුදල් නැහැ. ප්‍රේමදාස මහතා මදක් කල්පනා කර දුරකථනයෙන් ඇමතුමක් ගෙන තවත් අයෙකුට කතා කළහ. ඔහුට ප්‍රේමදාස මහතා පැවසුවේ අපේ පක්ෂයේ දේශපාලනය කරන ගාල්ලෙ තරුණ දේශපාලකයෙක් මා ඔබ හමුවට එවනවා. ඔහු මටත් පක්ෂයටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තරුණයෙක්. ඔබ ඔහුව බලාගන්න ඕන. ඔහුට අවශ්‍ය සහයෝගය දෙන්න යැයි කියා රිසීවරය තැබූහ. මා දෙස බැලූ ප්‍රේමදාස මහතා ලියුමක් ලියා මා අතට දී දැන්ම ගිහින් ඔබ මොහු හමුවන්න. ඔබට ඔහු උදව් කරාවි. ගාල්ලෙ පළමු වෙනිය වෙලා මා හමුවන්න. මම ඔබ බලාගන්නම් කීහ.
ප්‍රේමදාස මහතා දුන් ලිපිය රැගෙන මා අදාල ව්‍යාපාරිකයා හමුවිය. ඔබ ගැන ජනාධිපතිතුමා මට කීවා ඔබට ඡන්දයට යන වියදම් මම දරන්නම් මට බජට් එකක් හදල දෙන්න. දකුණු පළාත් සභා ඡන්දයට පෙර ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනය විය. අපගේත් රටේත් පක්ෂයේත් බලාපොරොත්තු සුනු විසුණු වී ගියහ. මා දිස්ත්‍රික්කයේ පළමුවෙනියා නොවුනද දෙවැනියා ලෙස ජයග්‍රහණය කළෙමි. ප්‍රේමදාස මහතා දිවංගත වුවද ඔහු හඳුන්වා දුන් ව්‍යාපාරික මහතා ප්‍රේමදාස මහතාට පොරොන්දු වූ අයුරෙන් මගේ මැතිවරණයට වියදම් කළහ. ඒ මහතා අදද තම ව්‍යාපාර පවත්වාගෙන යන බව සිහිපත් කරනුයේ කාතගුණ පූර්වකවය.
ප්‍රේමදාස මහතා දේශපාලනයේ යෙදෙන අයගේ අතින් නොඅල්ලා නාඩි වැඩ කරන හැටි හොඳින් දැන සිටි නායකයෙකු බව මෙම සිදුවීම මෙන් තවත් බොහෝ සිදුවීම් තුළින් මා දැනගෙන සිටියෙමි. කොපමණ බාධක පැමිණියද තමා නිවැරදි ලෙස ආරම්භ කළ ක්‍රියාවන් අතරමග නොනවත්වා එය සිදු කිරීමට අසීමිතව කැපවෙන නායකයෙකු වශයෙන් අප ප්‍රේමදාස මහතා දැන හඳුනාගෙන සිටිමු. මිරිසවැටි දාගැබ යළි පිළිසකර කිරීම ජේතවනාරාම දාගැබ පිළිසකර කිරීම ආදී කටයුතු වල වගකීම් පැවරුණේ ප්‍රේමදාස මහතාටය. මිරිසවැටිය ගොඩ නැංවීම විටින් විට අඩාල විය. වරක් සියල්ල සුණු විසුණු කරමින් මිරිසවැටිය කඩාගෙන බිමට වැටුනි. අපවත් වී වදාල අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන් මියන්මාරයට වැඩම කිරීමෙන් පසු ප්‍රේමදාස මහතාට තොරතුරක් හෙළි කරන්නට යෙදුනි. තොරතුරු ලැබුනේ මියන්මාරයේ සිටි සිත දියුණුකරගත් අධ්‍යාත්මික ශක්තියෙන් හෙබි හිම නමකගෙනි. උන් වහන්සේ පවසා තිබුණේ දැනට සිදු කරන මිරිසවැටි පිළිසකර කිරීමේ කටයුතු නවතා නියමිත පිළිවෙත් පුරා එය සිදුකළහොත් මිරිසවැටියේ නිර්මාණ කටයුතු අවසන් කළ හැකි බවයි. නැති නම් එය කෙසේවත් සිදු කිරීමට නොහැකිවන බවයි. සියල්ල ඇසූ ප්‍රේමදාස මහතා මියන්මාරයට පිරිසක් යවා එය පැවසූ හිමියන් හමුවී සියලු විස්තර තවත් හොඳින් දැන ගෙන මිරිසවැටියෙ පිළිසකර කටයුතු මහා රැයක කොටුගොඩ මහ නාහිමියන් ද වැඩමවා යළි ආරම්භ කළහ. සියල්ල නිසියාකාරව සිදු විය.
අද මහමෙව්නාවේ විරාජමාන වන අංග සම්පූර්ණ මිරිසවැටි මහ දාගැබ ජාතිය සතුවූයේ ඒ අකාරයෙන් ප්‍රේමදාස මහතාගේ නොපසුබට උත්සාහයෙනි. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව සහ බෝසත් පිළිමය වසර සිය ගාණනක් මහ පොළව සිපගෙන තිබුණි. බොහෝ අය මවිත කරවමින් එම ප්‍රතිමා ඔසවා තිබූ ආකාරයට ප්‍රතිෂ්ඨාපනය කළේ ප්‍රේමදාස මහතාගේ වීර්යය හා අධිෂ්ඨාන පාරමිතාවල ප්‍රතිඵලයක් ලෙසය.
සෑම ගම් උදා භූමියකම නව දාගැබක් ඉදිකර එම දාගැබට මෙරට විසූ වීරවරයෙකුගේ නමකින් හඳුන්වන්නට ප්‍රේමදාස මහතා ක්‍රියා කළහ. ඇඹිලිපිටියෙ දුටු ගැමුණු මහා සෑය, බුත්තල කැප්පෙටිපොල මහා සෑය, කඹුරුපිටියේ අනගාරික ධර්මපාල මහා සෑය, පොළොන්නරුවේ ඩී.එස්. සේනානායක මහා සෑය එයට නිදසුන්ය.
අහුන්ගල්ලේ දුම්රිය හා බස්රිය ගැටී එක තැන තිස් ගණනක් මිය පරලොව ගියේ ලංකාවේ භයානකම දුම්රිය අනතුරින් ලොවම කම්පා කරමිනි. වසර ගණනාවක් දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් නොතිබුණු නිසා සිදු වූ මෙම ඛේදවාචකය සිදු වූයේ ප්‍රේමදාස මහතා ජනාධිපති වී මාස ගණනාවක් ඇතුලතය. ප්‍රශ්නයක් ඇති වූ විට ප්‍රේමදාස මහතා ප්‍රශ්ණය විසඳුවේ සකල ලංකාවාසී සියලු දෙනාටමසහනයක් වන පරිදි ලංකාවේ සියලුම දුම්රිය මං සන්ධි හරහා උණබට ගේට්ටු දමා ජනසවි පවුල් සාමාජිකයන් රැසකට එහි සේවය කර වැටුපක් ලබා ගන්නා අයුරිනි.
යාපහුවෙන් ආරම්භ කළ උදාගම් ගොඩනැගීම ඔහු ඉදිරියටම ගෙන ගියේ නිවාස දශ ලක්ෂයක් ගොඩ නැගීමේ අරමුණින්ය. එතුමන් නිවාස දහයක් හෝ පහළොවක් තනා එය උදාගමක් ලෙස නම් නොකළ අතර සැම ගමකටම අවම වශයෙන් නිවාස පනහ ඉක්මවා තිබුණි. 1986 මැයි මස 25 වෙනි දින විවෘත කළ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයෙ නිට්ටඹුව නගරය ආශ්‍රිත “රන් පොකුණගම“ නම් ආර්ශ ගම්මානයේ නිවාස ප්‍රමාණය 1610 කි. ඔහු සියක් කෝටියක් තුරු සෙවනේ දශ ලක්ෂයක් නිවාස සංකල්පය ඉදිරියට ගෙන ගියේ රුක් රෝපණය ද සිදු කරමිනි.
ප්‍රේමදාස මහතාගේ නිවාස සංවර්ධන යෝජනා ක්‍රමය එතරම් විශාල විය. අවසානයේ ඔහු ලොවම ජය ගත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා ජගත් නිවාස වර්ෂයක් ද ලොවට ලබා දෙමිනි. ඉන්දියාවේ නිර්මාණය කළ “බුද්ධගයා ගම“ තැනීමට මුදල් වියදම් කළේ අප රටෙන්ය. බුදු පියාණන් වෙනුවෙන් ලංකාවෙන් ඉන්දියාවට සිදු කළ විශාලතම පූජාව බුද්ධගයාගම විය. මන්ද නිවාසයක් තනවා දීම සියල්ලම පූජා කළා හා සමාන කුසල කර්මයක් ලෙස බුදු පියාණන් වහන්සේ හඳුන්වා තිබුණු හෙයිනි.
සිරි දළදා මාලිගයට රන් වියනක් තනා පූජා කළ ප්‍රේමදාස මහතා දඹදිව බුද්ධ භූමියේ බුදුබව ලැබූ බෝරුක සෙවනේද රන් වියනක් තනවා පූජ කළේ සිය බොදුනු බව ලොවට පසක් කරමිනි.
සෑම මැතිවරණ කොට්ඨාසයකට ඇඟළුම් කම්හල බැගින් ඉදි කිරීමට ප්‍රේමදාස මහතා ක්‍රියා කළේ ගමේ තරුණියන්ගේ ශ්‍රමය ගම තුළට ගොනු කර කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයට යොමු වීමට යෑමද වලකන පියවරක් ලෙසය. එදා විරුද්ධ පක්ෂය ප්‍රේමදාස මහතාටත් මෙම කර්මාන්ත ව්‍යාපෘතියටත් අපහාස උපහාස සිදු කළේ සභාවල නොකිය යුතු වදන් පාවිච්චි කරමිනි. නමුත් එදා විරුද්ධ වූ අය බලයට පැමිණි කළ උදාවූ මෙරට නිදහස් පූර්ණයේ ස්වර්ණ ජයන්තිය 1988 දී සැමරීමට ගෙන්වූයේ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුය. ඔහු ලංකාවට පැමිණි පසු පෙන්වීමට කැඳවාගෙන ගිය පළමු ප්‍රදර්ශන ස්ථානය වූයේ ඇඟළුම් කම්හලකි. අද මෙරට විදේශීය ආදායම ගෙන්වා දෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ ද ප්‍රේමදාස මහතාගේ ඇඟළුම් කර්මාන්ත සංකල්පය බව කිව යුතුය.
ඒ.ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පැමිණියද ප්‍රේමදාස මහතාගේ දේශපාලන නිවහන වූයේ එක්සත් ජාතික පක්ෂයයි. ජේ.ආර්. ජයවර්ධන මහතා පක්ෂයේ නායකයා ලෙස පත්වී ප්‍රේමදාස මහතා අගසව් තනතුරේ තබා ගත්හ. ජයවර්ධන මහතාගේ ඔනෑම කතාවක් විනාඩි 10 ක් හෝ 15 කට සිමා විය. පක්ෂයේ රණ හඬ වූයේ ප්‍රේමදාස මහතාය. ඒ නිසා ප්‍රේමදාස මහතා එජාප වේදිකාවේ කතා කරන විට බුරුතු පිටින් ජනයා පැමිණ රොද බැඳ ගත්හ. එම කතාව තුළ ඉතිහාසය, භූගෝලය, ආගම දහම, දේශපාලනය, කවිය, උපහාසය, රසාස්වාදය සියල්ල ගැබ් විය. ඔහු පක්ෂයේ නායකයාට සහයෝගයක් විය. අභියෝගයක් වූයේ නැත. ඔහු එජාපය වෙනුවෙන් රට පුරාම ගියහ. කොළඹ දිස්ත්‍රික්කයට සිමාවී සිටියේ නැත. “දේශපාලනය කරන පිළිවෙලක් තිබෙනවා. පැහිල ඉදෙනවා මිසක් කුරවළු වී බිමට වැටෙන්නට එපා“ යැයි ඔහු නවක දේශපාලකයන්ට උපදෙස් දුන්නේ ප්‍රේමදාස මහතාගේ භාෂාවෙන් කියනවා නම් දේශපාලනයෙන් තෙම්පරාදු වූ නායකයෙක් ලෙසය.
පාන්දර හතරට අවදි වී රාත්‍රී 10 වනතුරු දෙනෙත් නොපියා ජනතාවටත් රටටත් පක්ෂයටත් සේවය කළ මෙම නායකයා දේශපාලනයේ එදා සිටි දැවැන්ත නායකයන් වූ ගාමිනි, ලලිත් දෙදෙනාට වඩා විශ්වාසය තැබූ තරුණ නායකයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙතය. ඔහු ගාමිනී, ලලිත් දෙදෙනාම සිටියදී ආණ්ඩුවේ සභානායක පදවිය දුන්නේ පක්ෂයේ එදා සිටි ජේෂ්ඨ නායකයා වූ විජේපාල මෙන්ඩිස් මහතාටත් නොදී රනිල් වික්‍රමසිංහ මහතාටය. එදා තමා රනිල්ට පැවරූ තනතුරේ අගය තමාට කොතරම් වටිනවාදැයි ප්‍රේමදාස මහතා අවබෝධ කර ගත්තේ එතුමාට විරුද්ධව එල්ල වූ දෝෂාභියෝගයෙදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස ජනාධිපතිවරයාත් එතුමාගේ රජයත් එක්සත් ජාතික පක්ෂයත් රැක ගන්නට සිදු කළ මෙහෙවරේදීය. ලලිත්, ගාමිනී දෙපළ ප්‍රේමදාස මහතා අතහැර තමන්ට එකතුවන ලෙස රනිල්ට කොපමණ ඇවිටිළි කළද ඔහු තම පක්ෂයටත් පක්ෂයේ නායකයාටත් ද්‍රෝහී නොවී සිය ප්‍රතිපත්තිය රැකගෙන ක්‍රියා කළ නිසා ප්‍රේමදාස මහතාට රජයත් තම ජනාධිපති ධූරයත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත් ආරක්ෂා කර ගැනීමට හැකි විය. සියල්ල ජයගත් පසු ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පෞද්ගලිකවම පැවසුවේ. “ඔබ හොඳට කෘත ගුණ දන්නා දේශපාලකයෙකු“ බවයි.
ප්‍රේමදාස මහතා තරුණ වියේදී බුලත් විටක් දුන් කොළඹ නගරයේ බුලත් විකුණූ අම්මාද වයසට ලොස් සිටින විට ඇය දුටුවිට ළඟට ගොස් මම මතකද? කියා ඇසුවේ ඡන්දය කාලයේ ඇයගේ නිවසට ගොස් නොව වැදගත් ගමනක යෙදී පොලිස් බල ඇණි පිරිවරා මහ මග යන විට වාහන පෙළ අතරමග නවත්වා පාරේ ගමන් කරන ඇය හඳුනා ගැනීමෙනි. “අනේ මහත්තයෝ මොකද මට මතක නැත්තෙ. මහත්තය පාසල් යන කාලයේ ඉඳල මට මතකයි. දැක්කත් සුතුටුයි කියා කියන විට ඇයගේ දෙඅතින් අල්ලා මොකක්ද? මගෙන් වෙන්න ඕන. ගෙයක් තියෙනවාද? රස්සා නැති මුණුබුරු මිනිබිරියො ඉන්නවද? එහෙම ඉන්නව නම් මා හම්බවෙන්න සුචරිතයට එන්න“ කියා ඇයගේ අතේ යම් මුදලක් තබන්නේ එදින සවස රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට පෙන්වන්නට හෝ පසුදා ප්‍රවෘත්ති පත්‍ර ඒ සේයා රුවෙන් මුල් පිටුව සරසා ගැනීමට නොව දහම් පාසලක් බණ පොතත් තුළින් උගත් ගුණ ධර්ම ක්‍රියාවට නගන්නටය. ප්‍රේමදාස මහතා යනු එවන් චරිතයකි. එවන් නායකයෙකි.
ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටියේ කොස්ගොඩ ගමේ උපන් රිචඩ් රණසිංහ මුදලාලි මහතා සහ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ බටුවිට උපන් ජයසිංහ ආරච්චිගේ එන්සිනා හාමිනේට දාව මීට වසර අනූ අටකට පෙර 1924 ජුනි මස 23 වන දින කොළඹ කෙසෙල්වත්තේ ඩයස් පෙදෙසේ අංක 12 දරණ නිවසේ උපන් රණසිංහ ප්‍රේමදාස මහතා ඩයස් පෙදෙසේ පූර්වාරාමාධිපති බලපිටියේ වැලිතර පඤ්ඤානන්ද මාහිමියන් වෙතින් අත්පොත් තබාගෙන පාසල, දහම් පාසල් සෙවනේ උගතයුතු මනා අධ්‍යාපනය ලබා ජනතා සේවයට පිවිසියේ පෙරුම්පුරාගෙන එන සසර පුරුද්දකට මෙන්ය. ප්‍රේමදාස මහතාට විශ්ව විද්‍යාල මගින් සම්මාන ආචාර්ය උපාධි ප්‍රදානය කිරීමට ඉදිරිපත් වූ හැම විටම එතුමන් පැවසුවේ මා පොදු ජන විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති නිසා තවත් උපාධි මට උවමනා නොමැති බවය. ඔහුගේ චරිතයත් දේශපාලන මෙහෙවරත් මෙරට දේශපාලන වංශ කතාවේ දීර්ඝ පරිච්ඡේදයකි. එතුමා සිදුකළ මෙහෙවර ජනගත වූයේ බාධක කම්කටොළු මැදය. ජීවත්ව සිටි ප්‍රේමදාස මහතා නොමරා මැරුවේ අප පක්ෂයේම සිටි දේශපාලන බල ලෝභීන්ය. ඔහු රැක ගනු ලැබුවේ අප පක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කෘතගුණ දත් නායකයන්ය.
ප්‍රේමදාස මහතා බොහෝ දෙනෙකු විශ්වාස කළහ. නමුත් ඒ විශ්වාසය එතුමාගේ ජීවිතය විනාශ කිරීමට මාන බැලූ ත්‍රස්තවාදින්ට ආශිර්වාදයක් විය. පොදු ජනතාව තුලින් බිහි වූ රණසිංහ ප්‍රේමදාස නම් පොදු ජන නායකයා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙළපාලියේදී 1993 මැයි මස 01 දා තම පාක්ෂිකයන් මැද ජීවිතයට සමු දුන්නේ තම දේශපාලන ගුරුවරයා වූ ඊ.ඒ. ගුණසිංහ මහතාගේ උපන් දිනය සමරණ ලෝක කම්කරු දිනයේදීය.
ප්‍රේමදාස මහතාගේ ගුණ සුවඳ පවතින්නේ එක්සත් ජාතික පක්ෂය තුළය. එක්සත් ජාතික පක්ෂය තිබෙනතුරු ප්‍රේමදාස නාමය ලොව පවතිනු ඇත. සැමරෙනු ඇත. ඒ මන්ද ඔහු බිහි කළේත් ඔහු රැක ගත්තෙත් එක්සත් ජාතික පක්ෂය නිසාය.
දිවංගත නායකයාණෙනි ඔබේ මෙහෙවර අමරණීයයි !
වජිර අබේවර්ධන
හිටපු අමාත්‍ය
සභාපති – එක්සත් ජාතික පක්ෂය