Sunday, April 28, 2024

දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවෙයිද?

කොවිඩ් මර්දනය පිණිස ලබා දී ඇති උපදෙස් නොතකා නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරි දෙසතිය ඉතාම අභියෝගාත්මක වීමට ඉඩ ඇති බැවින් දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

තුන්වන රැල්ල ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන හෙයින් වහාම සංචරණ සීමා පනවන ලෙසත් පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකරන ලෙසත් නිරතුරුවම ඉල්ලා සිටි බව පැවසූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පෙන්වා දෙන්නේ මේ වන විට තත්ත්වය අවදානම් මට්ටමට පැමිණ ඇති හෙයින් වහාම සංචරණ සීමා පැනවිය යුතු බවයි. එමෙන්ම දිනකට ආසාදිතයන් 1500ක් පමණ හමුවන හෙයින් රටම ‘ලොක්ඩවුන්‘ කළ යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ විසින්ද පෙන්වා දී ඇත.

පසුගිය සිකුරාදා වන විට මෙරට කොවිඩ් රෝගීන් සංඛ්‍යාව එක් 108,120 දක්වා ඉහළ ගොස් තිබූ අතර තුන්වන රැල්ල ආරම්භයේ සිට නිරෝධායන නීති කැඩූ 4,191 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නේ නම් හුදකලා කිරීම් මෙන්ම දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීමට සිදු වන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles