Saturday, April 27, 2024

රනිල්ගේ වැඩ ගැන වජිරගෙන් පොතක්… එළිදැක්වීම අද නෙළුම් පොකුණේදී

තම පක්ෂයේ සියලු ආසන අහිමිව එක් ආසනයකට පමණක් සීමා වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාව කාටූන් ශිල්පීන්ගේ ඇසට හසු වූ ආකාරය “PRESS VS PREZ” ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී වජිර අබේවර්ධන මහතා විසින් පාදක කරගෙන තිබේ.

එනම් තනි අසුනක් හිමිව තිබියදී එම අසුනෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු යැයි වජිර අබේවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරමින් සිටියදී මාධ්‍යවේදීන් සහ කාටූන් ශිල්පීන් එය දුටු ආකාරය මෙහි ඇතුළත්ය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2021 ජූනි 23 වැනි දින 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ “රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තනි මන්ත්‍රී ආසනයකින් වුවත් එය අගමැති ධුරයට පත්වී, ජනාධිපති ධුරය දක්වා ගොස්, වැටෙන රට ගොඩගැනීම සඳහා ප්‍රමාණවත්ය” යන්නයි.

එම අවස්ථාව මෙම කාටූන් පොතේ කාටූනයක් ලෙස සටහන් වී තිබේ.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මහජන නියෝජිතයකු ලෙස පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම සත්‍යය ප්‍රකාශ කරමින් සිටියදී 2022 අප්‍රේල් මාසයේදී යම් පිරිසක් විසින් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බව නිවේදනය කරනු ලැබීය.

මේ තත්ත්වය තුළ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇනහිටි අතර, රටේ ජනතාව පාරට බැස්සේය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට සිටි අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස් වූ අතර වජිර අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතරයක් එහිදී ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේ රට භාරදිය යුතු සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

කිසිවකු අගමැති ධුරයේ වගකීම භාර ගැනීම සඳහා ඉදිරිපත් නොවූ අවස්ථවේ වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ එක් මන්ත්‍රී ආසනයෙන් අගමැති වීමේ පළමු අනාවැකිය සත්‍යයක් බවට පත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි 12 වැනිදා මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

ඉන් අනතුරුව ඇතැම් පිරිසක් අරගලය මුවාවෙන් රට තුළ ගෙන ගිය ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙස 2022 ජූලි 09 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතාට සිය නිවෙස ද අහිමි වූ අතර ගිනිබත් වූ නිවෙසේ ඡායාරූප ද මෙම කෘතියෙහි පළ වී තිබේ.

නමුත් එයින් ද නොනැවතුණු රනිල් වික්‍රමසිංහ මහතා අරගලය හමුවේ එවකට සිටි ජනාධිපතිවරයා ද ධුරයෙන් ඉවත්වීමෙන් පසු 2022 ජූලි 15 වැනිදා තම පවුල නියෝජනය කරන වාළුකාරාමයේදී මෙරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගිවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

2022 ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ කැමැත්ත ඇතිව, වජිර අබේවර්ධන මහතාගේ දෙවැනි අනාවැකිය ද යථාර්ථයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම ද මෙම කෘතියෙහි කාටූන් මඟින් සටහන් කර තිබේ.

එපමණක් නොව වැටුණු ආර්ථිකයක්, පෝලිම් යුගයක්, බලාපොරොත්තු සුනුවිසුනු වූ රටක් රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකයා විසින් ගොඩගත් ආකාරය ජනමාධ්‍යවේදීන් හා කාටූන් ශිල්පීන් දුටු ආකාරය ද මෙම ග්‍රන්ථයේ මැනවින් සටහන් කර තිබේ.

රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා ගත් ප්‍රයත්නය කාටූන් ලෙස නිර්මාණය වූ අකාරය ද මෙහි අන්තර්ගතය.

ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රටත් ජනතාවත් මුදාගත් නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සනාථ කරමින් එම සියලු අවස්ථා කාටූන් මඟින් ජනගත වූ අයුරු විදාහ දැක්වීමට Coffee Book එකක් ලෙස නිර්මාණය කළ මෙම කාටූන් පොත මඟින් වජිර අබේවර්ධන මහතා දැරූ උත්සාහය මෙයින් මනාව පිළිබිඹු වේ.

මෙහි ඉංග්‍රීසි පරිවර්තනය මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා විසින් සිදු කර ඇති අතර සිංහල අනුවාදයන් සකස් කිරීම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවකු හා ජනමාධ්‍යවේදියකු වන සී.ජේ. අමරතුංග මහතා විසින් සිදු කර තිබේ.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් මෙම කාටූන් පොත “PRESS VS PREZ” නමින් අද (07) නෙළුම් පොකුණේ රඟහලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වේ.

Related Articles

Latest Articles