Monday, September 23, 2024

අපේ ක්‍රිකට් පිල පරදින්නේ ඇයි? මයික් ඇතර්ටන් හෙළි කරයි.

ඊයේ (01) එංගලන්තයේ පැවැති පළමු එක්දින තරගයත් ඉතා පහසු ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. එහිදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ දුර්වල පිතිහරඹය කැපී පෙණුනි. මේ පිළිබඳ බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පතට හිටපු එංගලන්ත නායකයා පවසා තිබුණේ මෙවැන්නකි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු වන මිකී ආතර් ක්‍රිකට් පිළිබඳ හසල දැනුමක් සහ අත්දැකීම් ඇති පුද්ගලයෙකු වුවත් ඔහු ඉදිරියේ ඇති අභියෝගය ඔහුට ද අභියෝගයක් බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායක මයික් ඇතර්ටන් පවසයි.

2007 – 2014 දක්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) තරගාවලි 5ක අවසන් තරගවලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව ඇති බව මයික් ඇතර්ටන් සිය ලිපියෙන් පෙන්වා දෙයි.

ඔහු එහි සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25ක් මේ වසරේදී සැපිරීම හේතුවෙන් එම දුර්වලතාව වැඩි වශයෙන් පිළිබිඹු වන බවය.

එංගලන්ත සංචාරයේ විස්තර විචාරයට එක්වන කුමාර් සංගක්කාරගෙන්, එක් අවස්ථාවකදී මෙය ශ්‍රී ලංකාවේ හොඳම කණ්ඩායම ද යන්න පිළිබඳව තවත් විචාරකයෙකු විමසා සිටියේය.

එම අවස්ථාවේ මද නිහැඬියාවකට පසු පිළිතුරු ලබාදෙන සංගක්කාර සඳහන් කළේ මෙය ශ්‍රී ලංකාවේ හොඳම කණ්ඩායම බවය.

ශ්‍රී ලංකාවේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ට පුහුණුකරු කිරීමට දුෂ්මන්ත චමීර, වනිදු හසරංග වැනි ක්‍රීඩකයින් සිටියද පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ට පුහුණු කිරීමට එවැනි පිරිසක් නොමැති බව ද අදාළ ලිපිය මගින් මයික් ඇතර්ටන් අවධාරණය කර තිබේ.

එමෙන්ම මුල්පෙල පිතිකරුවන් තිදෙනෙකු තරග තහනමකට ලක් වීම මෙය තවත් බැරෑරුම් තත්ත්වයට පත් කර ඇති බව ඇතර්ටන්ගේ ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ විනය පිරිහීමක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කරයි.

ඇතර්ටන් පෙන්වා දෙන්නේ, මෙම කඩා වැටීම පිටුපස තවත් ප්‍රබල ගැටලු පවතින බවය.

පවතින දේශීය තරග ආකෘතිය දක්ෂයින් නිර්මාණය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙන්නේය.

එම ආකෘතිය තුළ ක්‍රීඩකයින් හඳුනා ගැනීමට පවතින අවස්ථාව ඉතා සීමිත බව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි තමන්ට පැවසූ බව මයික් ඇතර්ටන්ගේ ලිපියේ දැක්වේ.

ඔහු එමගින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය අකාර්යක්ෂම වී ඇති බවය.

ක්‍රිකට් වැනි ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් හා බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ ජනප්‍රිය ක්‍රීඩාවක් දූෂිතයින්ගේ ග්‍රහණයට ලක්වීම සාමාන්‍ය දෙයක් බව ඇතර්ටන් පවසයි.

මුදල් වැඩි වශයෙන් ගැවසීම ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගේ ග්‍රහණයට ලක් වීමට ප්‍රධාන හේතුවක් බව එහි සඳහන්ය.

පසුගිය වසරවල අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාව පිළිබඳව පරීක්ෂණ ගණනාවක් සිදු කිරීම ඊට උදාහරණ ලෙස අදාළ ලිපියෙන් පෙන්වා දෙන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉහළ සිට පහළටම දූෂිත බවට මීට වසර 03කට පෙර මෙරට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසූ බව ද ඇතර්ටන්ගේ ලිපියේ දැක්වේ.

කෙතරම් ගැටලු පැවතුණ ද ශ්‍රී ලංකාවේ මහමග, පාසල්වල, විශ්වවිද්‍යාලවල යනාදී බොහෝ තැන්වල ක්‍රිකට්වලට තිබූ කැමැත්ත පෙර පරිදිම පවතින බව එම ලිපියේ සඳහන් වේ.

මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම මෙවැනි ඇදවැටීම් වලට ලක්වී ඇති බවත්, වැඩි දෙනෙකුගේ බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තත්ත්වයෙන් යළි නැගී සිටීම බව ද මයික් ඇතර්ටන් සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles