Friday, September 20, 2024

9 % කින් වැඩි කරපු ඖෂධ මිල 21% කින්ම වැඩි කරන්නැයි ඉල්ලීමක්

ඖෂධ මිල 9%කින් නොව 21%කින් ඉහළ දැමිය යුතු බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල 9%කින් වැඩි කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ 2020 මාර්තු 8 වැනි දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ 9% මිල වැඩිවීම මෙලෙස ලබාදුන් බවයි. ඒ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 198ක් වූ අතර මේ වන විට ඩොලරය රුපියල් 215ක් දක්වා වැඩි වී ඇති බව සංගමයේ සභාපති සංජීව විජේසේකර කියා සිටියේය. මේ නිසා 9%ක මිල වැඩිවීම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

කෙසේ වෙතත් ඖෂධ සැපයීම, නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස මිල වැඩිකළ බවයි.

වේදනා නාශක, දියවැඩියා, හෘද රෝග, හතිය, සෙම් රෝග වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග 60ක මිල මෙලෙස වැඩිකර ඇත. ඖෂධීය නාමයෙන් ඖෂධ වර්ග 60ක් වුවද විවිධ සන්නාම යටතේ අලෙවි කරන ඖෂධ වර්ග 450ක පමණ මිල මෙලෙස වැඩි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි. හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 2019 මැයි 15 වැනි දින මෙම ඖෂධ, අක්ෂි කාච හා ස්ටෙන්ට්වල මිල අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනය පළමුව නිකුත් කරන ලදී.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1.71කි. මීට පෙර මිල රුපියල් 1.50කි. දියවැඩියා රෝගීන් භාවිත කරන ඉන්සියුලින් රුපියල් 748 සිට 1496 දක්වා පරාසය යටතේ මිල වැඩි වී තිබේ.

රුපියල් 3000 සිට රුපියල් 15000 දක්වා මිල පරාසය යටතේ මෙතෙක් අලෙවි කළ අක්ෂි කාච වර්ග 38ක් නව ගැසට් නිවේදනයට අනුව රුපියල් 3815 සිට රුපියල් 21,200 දක්වා වූ මිල පරාසයකට යටත් වන පරිදි වැඩිකර තිබේ. රුධිර ග්ලුකෝස් මාපකයක් මෙතෙක් කල් අලෙවි වූයේ රුපියල් 3150 කටය. නව ගැසට් නිවේදනයට අනුව එහි නව මිල රුපියල් 3433කි. රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු කට්ටලද රුපියල් පනහකින් මිල වැඩි වී ඇත. හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ලෝහමය ස්ටෙන්ට් ඒකක මිල රුපියල් 29920 දක්වාද, ඖෂධ මුදාහරින ස්ටෙන්ට් ඒකක මිල රුපියල් එක්ලක්ෂ තිස්දහස් අටසියයක් (130,800) දක්වාද වැඩිකර තිබේ.

Mawrata – මවිරට

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles