දිවයින පුවත්පතේ සේවය කළ කීර්තිමත් මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා ඉවත් කර ඇති බව වාර්තා වේ. දශක තුනකටත් වැඩි කාලයක් තිස්සේ දිවයින පුවත්පතේ සේවය කළ වර්ණකුලසූරිය මහතාගේ නම තවදුරටත් දිවයින පුවත්පතේ අකුරු අතර සටහන් නොවනු ඇත.
මාධ්‍යවේදියෙකු ලෙස ඔහුගේ නිකැලැල්, අඛණ්ඩ මෙහෙවර තුළ, වර්ණකුලසූරිය මහතා පෘථිවි තලය මත පමණක් නොව ඉන් ඔබ්බට ගොස් අඟහරු ලෝකය තුළද රාව ප්රතිරාව නැංවීය. ඇමරිකාවේ නාසා ආයතනයට හෝ අභ්යවකාර ගවේෂණ සිදු කරන වෙනත් කිසිදු රටකට හෝ ඩොලර් ට්‍රිලියන ගණන් වියදම් කර හෝ සොයාගත නොහැකි සොයා ගැනීම් සිදු කිරීමට කීර්ති වර්ණකුලසූරිය මාධ්‍යවේදියා සමත් වූ අතර ඉන් ප්‍රමුඛතම සොයා ගැනීම වන්නේ අඟහරු ලෝකයේ ජීවීන් ගඩොල් භාවිතා කරන බව ලෝකයටම හෙලිදරව් කිරීමයි.
වර්ණකුලසූරිය මහතා නොමැතිව දිවයින පුවත්පතට වැලේ වැල් නොමැති වනු ඇත. ඒ පිළිබඳව වර්ණකුලසූරිය මහතා දැනටමත් ඉඟි පළකර තිබේ. ඔහු සිය සමීපතමයෙකු සමග පවසා තිබෙන්නේ ‘දැං බලමුකො මගේ ආරක්ෂක කොලම නැතුව දිවයිනට මොකද වෙන්නෙ කියලා. ටික දවසක් යනකොට පත්තරේ විකුණගන්න බැරි උනාම වෙල්ගමලට තේරෙයි මම නැතුව පත්තරේ කරන්න බෑ කියලා. එතකොට එයිනෙ දණ ගාගෙන වැඳගෙන. කොහොම ආවත් මම නං ආයෙ පැත්ත පලාතෙ යන්නෙ නෑ’ කියාය.
කීර්ති වර්ණකුලසූරිය මහතාට සහ ඔහුගේ බිරිඳට පසුගියදා කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර ඉන්පසු ඔවුන් දෙදෙනාම කළුබෝවිල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබිණි. කෙසේ නමුත් වර්ණකුලසූරිය මහතා හිටිවනම රෝහලෙන් අතුරුදන් වූ අතර ඔහු අතුරුදන් වී තිබුණේ සිය බිරිඳ පවා දැනුවත් නොකරය.
පසුගිය සිදුකළ සොයා බැලීමේදී ඔහු හොර රහසේම නැවත සිය නිවසට ගොස් ඇති බව කොස්වත්ත පොලීසිය සොයාගෙන තිබිණි. ඔහු ිනිවසේ දුරකතන වයර් පවා ගලවා දමා සැඟවී සිටි අතර පොලිසීය ඔහුව සොයා ගත්තේ මහත් පරිශ්‍රමයක් දරා වහලේ උළු ඉවත් කර නිවසට ඇතුළුවීමෙනි.
එවැනි කරදරවලට මුහුණ දුන් වර්ණකුලසූරිය මහතාට අවසානයේදී සිය මාධ්‍ය රස්සාවද අහිමි විය.
වර්ණකුලසූරිය මහතා සිදුකර ඇති මාධ්‍ය මෙහෙවර සහ දිවයින පුවත්පත හරහා සිදුකළ සොයා ගැනීම් හේතුවෙන් ඔහුට රැකියාවක් නම් සොයා ගැනීම එතරම් අපහසු නොවනු ඇත. ඔහු දිවයින පුවත්පතෙන් ඉවත් කර ඇති බව ආරංචි වූ වහාම නිව්යෝක් ටයිම්ස් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක් ඔහුගේ සේවය ලබා ගැනීමට ඉදිරිපත් වනු ඇත.
ඇතැම් විට නාසා ආයතනයේ අඟහරු ගවේෂණ සඳහා ඔහු විශේෂ උපදේශකයෙකු ලෙස බඳවා ගැනීමටද ඉඩ තිබේ. එසේ වුවහොත් එය සමස්ත ශ්‍රී ලංකාවටම මහත් ආඩම්බරයක් වනු ඇත.