Sunday, September 22, 2024

නීතිවිරෝධී ලෙස ලඟ තබා ගත් බව කියන අලි පැටව් නිදහස් කිරීම ගැන පරිසරවේදීන්ගේ විරෝධය

ව්‍යාජ ලේඛන භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ලඟ තබා ගැනීමේ චෝදනා මත වනජීවී භාරයට ගත් අලි පැටවුන් එම චෝදනා ලත් පුද්ගලයන්ටම යළි ලබා දීමේ තීන්දුවට එරෙහි වන්නැයි පරිසරවේදීහු “හදවතක් සහ හෘද සාක්ෂියක් සහිත” ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් එසේ ඉල්ලා සිටියේ නීතිවිරෝධී ලෙස අලිපැටවුන් ලඟ තබා ගත් බවට චෝදනා ලත් පුද්ගලයන්ටම එම පැටවුන් යළි ලබා දෙන ලෙස අධිකරණය නියෝග කිරීමත් සමගය.

නඩු භාණ්ඩයක් චූදිතයන්ටම ලබා දීමට නීතිපතිවරයා කටයුතු කිරීම පිළිබඳ පරිසරවේදීහු විමතිය පළ කරති.

“විය යුතුව තිබුණේ නඩුවේ දෝෂයක් තිබුණේ නම් නඩුව අහලා ඉවර කරලා, එහෙම නැති නම් නඩුවට විරෝධතාවක් ඉදිරිපත් කරලා, එමගින් නඩුව නිෂ්ප්‍රභ වුණා නම් ඊට පස්සේ එන තීන්දුව අනුව කටයුතු කරන එක. මේ ආකාරයෙන් නඩු ඉවත් කරගෙන කරන දේවල් අපි දකිනවා අධිකරණ ක්‍රියාමාර්ගයට අයුතු බලපෑමක්, නැති නම් අතරමග අත්හිටුවීමක් විදිහට.” යනුවෙන් පරිසර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවම පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන නොයාමට ඉල්ලීමක් කළ විට ඉන් එහාට යමක් කිරීමට අධිකරණයට ද හැකියාවක් නොමැති බැවින් අදාළ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයේ විශ්වාසය පිළිබඳ ගැටලුවක් ඇති නොවන බව ඔහු සඳහන් කළේය.

“අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තිය යටතේ නීතිපතිවරයා තමයි රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වෙන්නේ. එතකොට ඒ අය පැමිණිල්ල තවදුරටත් නොගෙන යන්න ඉල්ලීම් කළ විට අධිකරණයට එයින් එහාට යන්න පුළුවන් කමක් නැහැ.”

“අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ මට ගැටළුවක් නැහැ. නමුත් එයින් ඔබ්බට ගිය විට මෙහි වගඋත්තර පාර්ශවයන් සහ මේ සඳහා මැදිහත් වුණු රජයේ පාර්ශවයන් විසින් මේ කළ දේ ඉතාම නරක පූර්වාදර්ශයක්. මේවයේ බලපෑම එන්නේ අනාගතයේදී.” යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles