Friday, September 20, 2024

ශ්‍රීමත් ගිරිගෝරිස් තුමා! Sir William Gregory

වෙහෙරවිහාර, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළ, දේශීය කෘෂිකර්මය නගා සිටවූ බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරයා…

ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි

මේ සටහන වසර පහක් ඇතුළත පුරාවිද්‍යා, කෘෂිකාර්මික, වාරි, වරාය, දුම්රිය හා මාර්ග ක්ෂේත්‍ර වල විප්ලවීය සංවර්ධනයක් කල මිනිසෙක් ගැනය. ඔහු වසර පහට කල වැඩ කොටස නිදහසින් පසු ලංකාවේ දැනට ගතව ඇති දශක හත තුළ වත් සිදු කර ඇද්දැයි තීරණය කිරීම ඔබට භාරය.
ඔහු නමින් ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි මහතාය.

සුන්දර නුවරඑළිය වචනයේ අර්ථයෙන්ම පුංචි එංගලන්තයක් බවට පත් කලේ විලියම් ග්‍රෙගරි මහතා බව කිව යුතුය. ග්‍රෙගරි වැව ඉදිකෙරෙන්නේද ඔහුගේ පාලන සමයේදීය.

1816 දී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර උපත ලබන ඔහු අති දක්ෂ සිසුවෙක් ලෙස පාසලේදීත් විශ්වවිද්‍යාලයේදීත් ඇගයීමට පාත්‍ර විය. දේශපාලන විද්‍යාව, ඉතිහාසය කෙරෙහි දක්ෂතා දැක්වූ ඔහු තරුණ වියට එළඹෙද්දී මහජන සේවයට ප්‍රවිශ්ට වීමට තීරණය කරන්නේ දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි ඇති ඇල්ම නිසාවෙන්මය. කොන්සර්වේටිව් පක්ෂයට බැදෙන ඔහු 1842 මැතිවරණය ජයග්‍රහණය කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙමින් දේශපාලන ගමනේ සන්ධිස්ථානය සටහන් කරයි.
දේශපාලනයේ ජය පරාජයන් සම සමව අත් විදිමින් රාජ්‍ය තාන්ත්‍රික දූතයෙක් ලෙසද දශක කිහිපයක් කටයුතු කරන ග්‍රෙගරි මහතා විවේකී අවස්ථා වල විවිධ රටවල සංස්කෘතික වටිනාකම් ගවේෂණය සිය විනෝදාංශය බවට පත් කරගන්නා ලදි.
පුරාවිද්‍යා ක්ෂේත්‍රය පිළිබද ප්‍රමාණික දැනුමක් සහිත විද්වතෙක්ද වන ඔහු යුරෝපා ඉතිහාසය, ආසියානු සහ උතුරු අප්‍රිකානු නදී නිම්න ශිෂ්ඨාචාර පිළිබඳ හැදෑරූ අතර ඊජිප්තුව පිළිබඳ ග්‍රන්ථයක්ද සම්පාදනය කොට ප්‍රකාශයට පත් කරවීය.

බ්‍රිතාන්‍යයේ සිය ගම් පලාතේ ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ ඔහු පසුව අටසිය හැත්තෑව දශකයේදී මව්‍ රටින් නික්ම යන්නේ සිය උගත් කම හැකියාව වෙනත් කාර්‍යයකට යෙදවීමටය. ඔහු දකුණු ආසියානු ඉතිහාසය පිළිබඳ අධ්‍යනය කරද්දී අනුරාධපුර රාජධානි සමය පිළිබඳ ඉමහත් පැහැදීමක් ඇති කර ගනු ලැබ සිටි බවද කිවයුතුය. 1872 දී මෙරට ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ සැනින්ම ඔහු අනුරාධපුර පෙදෙසේ සංචාරය කරන්නේ ඒ හේතුවෙනි කෙසේ වෙතත් මෙරට දඹදෙණි, යාපහුව, කුරුණෑගල, ගම්පොල යනාදී පසුකාලීන රාජධානි සමයන් සිටම අනුරාධපුර වැව් අමුණු, වෙහෙර විහාර පිළිබඳ අවධානය අඩුව පැවති හෙයින් ඒ බොහෝමයක් කැලෑවැදී ජරාජීර්ණව තිබිණි. (අනුරාධපුර පොළොන්නරු රාජධානි වලින් පසු රටේ රාජ්‍යත්වය පිළිබද බල අරගල ගහණ විය) මෙයින් බලවත් කම්පනයට පත් ග්‍රෙගරි මුලින්ම වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සදහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කොට මෙම පුරාවස්තු ආරක්ෂා කිරීම කෙරෙහි අවධානයක් යොමු කළ යුතු බවට විශේෂ වාර්තාවක් බ්‍රිතාන්‍යය වෙත යවන ලදි. ක්‍රමයෙන් නටඹුන් විශාල වශයෙන් හදුනා ගැනිණි. ප්‍රතිසංස්කරණය කෙරුණි. එසේම මේවා පිළිසකර කිරීමට මූලික වන භික්ෂූන් වහන්සේලාට ආධාර ලබා දෙන ලදි. අනුරාධපුර පොළොන්නරු පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කළා මෙන්ම දළදා මාළිගය වටා පිහිටි වළාකුළු බැම්ම ආකර්ෂණීය ලෙස පෙනෙන පරිදි ප්‍රතිසංස්කරණය කරන ලද්දේත් ග්‍රෙගරි මහතාගේ සමයේදීය.
ග්‍රෙගරි පෙර ආණ්ඩුකාරවරයෙක්ව සිටි හෙන්රි වෝඩ් මහතාගේ මාවතේම යමින් මෙරට කෘෂිකාර්මාන්තය කෙරෙහි සිය අවධානය යොමු කරන්නේ ඉනික්බිතිවය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුළුල් කළ ඔහු ශ්‍රම කණ්ඩායම් රැස් කරමින් දැවැන්ත වැව් අමුණු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද්දේය. මුල් අදියරේ අනුරාධපුර වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළ ඔහු මෙය දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් බවට හැරවා එක් වසරක් තුළ ග්‍රාමීය වැව් සීයක් ප්‍රතිසංස්කරණය කරමින් වාරි ව්‍යාපෘති ඉතිහාසයේ වාර්තාවක් තැබීමට සමත් විය. මේවායේ ප්‍රතිඵලයක් ලෙස රටේ වී සහ වෙනත් භෝග නිෂ්පාදනය වාර්තා ගත ලෙස ඉහළ ගිය බව කියැවේ.

වැව් අමුණු, පුරාවිද්‍යා ක්ෂේත්‍ර වලට පමණක් සීමා නොවූ එතුමා රටේ වාණිජ කේන්ද්‍රය බදු කොළඹ වරාය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එහි දියකඩනය ඉදි කිරීම 1875 දී ආරම්භ කරන ලදි.
වාණිජ වතු වගාව වඩ වඩාත් ශක්තිමත් කිරීමට සහ ව්‍යාප්ත කිරීමට නීති රීති ගෙන එනු ලැබූ ඔහු වැවිලිකරුවන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් සැපයීම සදහා විද්වත් කණ්ඩායමක් පත් කරනු ලබයි.

නුවරඑළිය නගරය මැනවින් සැලසුම් සහගත ලෙස ගොඩ නැගූ ඔහු නගරය තුළ අදටත් ආකර්ෂණීය අංගයක් වන ග්‍රෙගරි වැව ඉදි කිරීමට පියවර ගනියි. එය සුන්දර නුවරඑළියට ආභරණයක් විය
මගීන්ගේ පහසුව හා දුම්රිය පද්ධතිය බ්‍රිතාන්‍යයේ මට්ටමට ගෙන ඒමේ අරමුණින් කොළඹ නුවර දුම්රිය මාර්ගයේ උඩරට කොටසේ දුම්රිය ස්ථාන ඉදි කිරීමත් අදටත් අප ඵල ප්‍රයෝජන ලබන විශිෂ්ට සේවයකි. බ්‍රිතාන්‍යයන් දුම්‍ රිය මාර්ග ඉදි කරනු ලැබුවේ මූලික වශයෙන්ම නිෂ්පාදන භාණ්ඩ ප්‍රවාහනය පිණිසය. එය පොදු මහජනයාට සමීප කරවන්නේ ග්‍රෙගරි විසිනි. කුඩා දුම්‍ රිය පොළවල් රැසක් මෙලෙස ඉදි විය. දුම්රිය සේවය වඩාත් ජනතාවට සමීප වන්නේ මෙතුමාගේ පාලන සමයේදියි.

1877 ජනවාරි 1 වැනිදා කොළඹ කෞතුකාගාරය වැඩ කටයුතු නිමා කොට විවෘත කිරීමට ඔහු සමත් විය.
1877 සැප්තැම්බරයේදී ග්‍රෙගරි මහතා ආණ්ඩුකාර ධූරය අවසන් කොට නැවතත් මව්‍ රට එංගලන්තය බලා යන අතර පසුව ඕස්ට්‍රේලියාව වෙත රාජකාරි කටයුතු සදහා පිටත්ව යන්නේ ප්‍රිවි කවුන්සලයේ සාමාජිකයෙක් ලෙසිනි.
සියගණනින් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරමින්, නටඹුන් සංරක්ෂණය කරමින්, මහාමාර්ග, වරාය, දුම්රිය පද්ධති වැඩිදියුණු කරමින් නුවරඑළිය නගරය ගොඩ නගමින් රටපුරා මහා සේවයක් කිරීමට එතුමා සමත් වූයේ වසර පහක් තරම් කෙටි කාලයකින් වීම පුදුම සහගත බව කිව යුතුය.

කලක් ගත වෙත්ම ඔහුට සිය ආදරණීය දිවයිනේ සංචාරය කිරීමේ ආශාවක් ඇති විය. ඒ අනුව වසර කිහිපයකට පසු ඔහු නැවතත් ලංකාවට පැමිණ රටේ විවිධ ප්‍රදේශ වල සංචාරය කරන අතර සීගිරිය අවට ප්‍රදේශයේ සංචාරයේදී ඔහුට දුර දක්නයෙන් පෙදෙස නිරීක්ෂණය කරද්දී සීගිරි ගල මුහුණතේ අපූරු සිතුවම් දැකගන්නට ලැබුණු බව කියැවේ. ඉක්මනින් ඒ ස්ථානයට ලගා වන ඔහු සීගිරියේ විශ්මය ජනක නිර්මාණ දකින අතර මෙහි වටිනාකම හදුනා ගන්නා ඔහු කඩිනමින් බලධාරීන් දැනුවත් කොට සීගිරි සිතුවම් සංරක්ෂණය කිරීමට පුරෝගාමී විය.

මව්‍ රට වන එංගලන්තයේ ජනතාවටත් යටත් විජිතයක් ලෙස පැවති ලංකාවේ ජනතාවටත් සියවස් ගණනක් කල් පවතින මෙහෙවරක් සිදු කළ විලියම් ග්‍රෙගරි මැතිතුමා අධික ලෙස වෙහෙස මහන්සි වීමත්, ලොව පුරාවිවිධ ප්‍රදේශ වල සංචාරය කරමින් ලෙඩ රෝග වලට ගොදුරු වීමත් නිසා කලක සිට පැවති ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයක් නිසා 1892 දී මෙලොවින් සමු ගනියි. මිය යන විට එතුමා හැත්තෑ හයවැනි වියේ පසු විය.

  • ශාලිත බණ්ඩාර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles