Monday, November 18, 2024

සුරාබදු දෙපාර්තමේන්තුවෙනුත් අනතුරු ඇඟවීමක්…

සුරාබදු දෙපාර්තමේන්තුව වසරකට රුපියල් බිලියන 100 කට අධික සුරාබදු ආදායමක්‌ රජයට ලබාදෙනවා. නමුත්, මේතරම් මුදලක් රජයට උපයා දෙන දෙපාර්තමේන්තුවේ මේ වන විට මානව සම්පත්, භෞතික සම්පත් ඇතුළු පහසුකම් ඉතා අඩු මට්‌ටමක පවතින බවයි පැවසෙන්නේ. මේ නිසා, රජයට ආදායම් එකතු කරන අනෙකුත් ආයතන හා සැසඳීමේදී ඔවුන්ට ලැබෙන දීමනා පහසුකම් සුරාබදු නිලධාරීන්ට නොලැබෙන බව ද වෘත්තීය සමිති සංවිධානය චෝදනා කරනවා. ඉවසීමේ සීමාව පසුවීම නිසා, ගැටලුවලට කඩිනමින් විසඳුමක්‌ ලබා නොදුනහොත් උපරිම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව සුරාබදු දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය රජයට අනතුරු ඇඟවීමක් කරලා.

වැඩිදුරටත් කරුණු දක්‌වන වෘත්තීය සමිති සංවිධානය ප්‍රකාශ කර සිටි කරුණු:

“සුරාබදු දෙපාර්තමේන්තුව දැනට වසර 103 ක සිට රජයට විශාල බදු ආදායමක්‌ ලබාදෙන ක්‍රියාකාරී ආයතනයක්‌. ගිනි අවි, අත්මාංචු, නිල ඇඳුම්, සන්නිවේදන උපකරණ ඇතුළු දහසකුත් අඩුපාඩු මැද මෙහි නිලධාරීන් රාජකාරි කළ ද සුරාබදු කොමසාරිස්‌ ජනරාල්ගේ ඉල්ලීම මත සුරාබදු නිලධාරීන් අධික කාර්යබහුල යෑයි පවසමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යයන් ඉටු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක්‌ ස්‌ථාපිත කර තිබෙනවා. මෙහි ප්‍රධානියා ලෙස විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ලංකා බැංකුවේ ආරක්‍ෂක අංශයේ සේවය කළ අයකුට විශාල දීමනාවක්‌ ගෙවමින් කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් පත් කර තිබෙනවා”.

“මෙය කිසි දිනෙක සිදුනොවිය ක්‍රියාවලියක්‌. සුරාබදු නිලධාරීන් අකාර්යක්‍ෂම නම් හෝ අධික කාර්යබහුල නම් එයට විසඳුම් දිය යුතුයි. ආකාර්යක්‍ෂම හෝ කාර්යබහුල වී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තු පරිපාලනයයි. ඔවුන් සුරාබදු නිලධාරීන් අකාර්යක්‍ෂම යෑයි පවසමින් මුදල් ඇමැතිවරයා වෙත අසත්‍ය වාර්තා ඉදිරිපත් කරලා. රජයට වසරකට රුපියල් බිලියන 100 කට අධික ආදායමක්‌ ලබා දෙන්නේ නම් සුරාබදු නිලධාරීන් අකාර්යක්‍ෂමද”?

“ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ අසාර්ථක පරිපාලනය ඉවත් කිරීම, මුදල් අමාත්‍යාංශය තුළ පිහිටුවා ඇති විශේෂ ඒකකය විසුරුවා හැරීම හෝ සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයා යටතට පත් කිරීම සහ සුරාබදු නිලධාරීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදන්නේ නම් ඉදිරියේදී වෘත්තීය අරගලයක්‌ ක්‍රියාත්මක කරනවා. එහෙත් ඊට පෙර මේ ගැටලු ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කොට විසඳ ගැනීමට අපේක්ෂා කරනවා” බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂ් ජයකොඩි මහතා පවසා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles