Wednesday, October 30, 2024

රෝග ලක්ෂණ නැති ආසාදිතයෝ සමාජයේ අහඹු පීසීආර් කරන්න

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඞ් ආසාදිතයින් සමාජයේ බහුල ලෙස සිටිය හැකි නිසා ඔවුන් හඳුනාගැනීම වෙනුවෙන් අහඹු පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා සඳහන් කළේය.

වත්මන් කොවිඩි තත්ත්වය පිළිබඳව ඊයේ (22) මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වනවිට මෙරට කොවිඞ් තත්ත්වය යම් පාලනයකට නතුකර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබුණත් ජනතාව රෝගය අමතක කර දෛනික කටයුතුවල යෙදීම හේතුවෙන් යම් අවදානමක් මතුව තිබෙන බව ද කී වෛද්‍යවරයා නිසි ලෙස මුව ආවරණ පැළඳීම දුරස්ථභාවය තබා ගැනීම, දෑත් සේදීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් අමතක කර දැමීම යහපත් තත්ත්වයක් නොවන බව ද අවධාරණය කළේය.

කොවිඩි තත්ත්වය මෙරටින් තුරන් කර අවසන් යැයි සිතා ජනතාව කටයුතු කරන බව පෙනෙන්නට තිබුණත් දිනපතා ආසාදිතයින් හයසිය ඉක්මවා වාර්තාවීමත් මරණ විස්සක් පමණ වාර්තා වීමත් සුළු කොට තැකිය හැකි තත්ත්වයක් නොවන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙවන් තත්ත්වයක් තුළ කොවිඞ් පාලනය සෞඛ්‍ය අංශවලට පමණක් සිදු කළ නොහැකි හෙයින් ජනතාව සතුව ද විශාල වගකීමක් පවතින බව වටහා ගත යුතු බව ද වෛද්‍යවරයා පැවසීය.

එසේ නොවන්නේ නම් යම් පාලනයකට නතුකර ගෙන ඇති මෙරට කොවිඞ් තත්ත්වය ඉන් ගිලිහී යෑම හේතුවෙන් යළිත් රට වසා දැමීමකට හෝ දැඩි සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ මෙරට ජනතාව සියයට පනස්අටක ප‍්‍රමාණයකුත් එක් එන්නත් මාත‍්‍රාවක් ලබා ගත් පුද්ගලයින් සියයට හැටහතක පමණ ප‍්‍රමාණයකුත් කොවිඞ් ප‍්‍රතිශක්තිකරණය ලබා ඇතත් නැවත රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවක් පවතින බව ද කී වෛද්‍යවරයා එවන් පුද්ගලයින් නැවත බහුතරයකට ආසාදනය වීමේදී රෝග ලක්ෂණ නොපෙන්වන නිසා නිරන්තරයෙන් අහඹු පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීම කළ යුතුව ඇතැයි ද පැවසීය.

තමන් ආසාදිතයින් ලෙස නොසිතා කොවිඞ් පරීක්ෂණයන්ට යොමු වීමට ජනතාව කි‍්‍රයා නොකිරීම හේතුවෙන් කොවිඞ් වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීම අපහසු තත්ත්වයකටපත් වී ඇති නිසා ඒ පිළිබඳව අවධානය යොමු කර අවදානම් කලාප හඳුනාගනිමින් අහඹු පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බව ද වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles