ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව 206 වැනි ස්ථානයේ සිට පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් 204 වැනි ස්ථානයට එයි. නිමාවට පත් වූ දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැක්වූ ප්‍රගතිය හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වී තිබේ.
දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය දිනාගත් සුනිල් චෙට්ත්රීගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව එක් ස්ථානයක් ඉදිරියට ගොස් 106 වන ස්ථානයට පැමිණ තිබේ. ඉන්දීය පිල දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී නේපාලය පරාජය කිරීමට සමත් විය.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසු වීමට බෙල්ජියම සමත්ව සිටින අතර, බ්‍රසීලය දෙවැනි තැනට හා ප්රංසය තෙවැනි තැනට පත්ව සිටිති. ඉතාලිය හා එංගලන්තය පිළිවෙළින් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි හා පස්වැනි ස්ථානවල පසු වෙති.
ලොව පාපන්දු ක්‍රීඩා කරන රටවල් 210ක් අතුරින් ශ්‍රී ලංකා පාපන්දු පිල පසුගිය කාලයේදී ඉතිහාසයේ අඩුම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් පහළට ඇද වැටි තිබූ අතර, මෙයට දින දෙකකට කලින් නිකුත්වූ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ඉහළට පැමිණීම යළි ආරම්භ කොට ඇත.
පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම කිරීම අනුව ශ්‍රී ලංකාවට ඉහළින් 203 වැනි ස්ථානයේ එරිත්‍රියාව සිටින අතර, ශ්‍රී ලංකාවට පහළින් 205 වැනි ස්ථානයේ ටර්ක්ස් සහ කායිකෝ දූපත් කණ්ඩායම සිටී. ශ්‍රී ලංකාව වසර 2018දී ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව 201වැනි ස්ථානය සිටි අතර සීග්‍රයෙන් පහළට ඇද වැටීමට හේතුව වූයේ පසුගිය කාලයේ සහභාගි වූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කළාපයේ තරගවලින් දිගින් දිගටම පරාජය වීම හේතුවෙනි.
ලොව ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටි ටර්කිමෙනිස්තානය, උතුරු කොරියාව, දකුණු කොරියාව හා ලෙබනනය වැනි කණ්ඩායම් හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් විය. එමෙන්ම එත්සත් අරාබි එමීර් රාජ්‍ය හා මැලේසියාව සමඟ පැවැති අන්තර්ජාතික සුහද පාපන්දු තරග පරාජය ද මේ පසුබැසීමට හේතු විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කළාපයේ තරග ආරම්භයේදී ශ්‍රී ලංකාව සිටි 201වැනි ස්ථානයට දැන් අරුයූබා කණ්ඩායම පැමිණ සිටී.ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවට පහළින් දකුණු ආසියාවේ කිසිදු රටක් නැත. ශ්‍රී ලංකාවට පහළින් ගුවාම්, අමෙරිකා වර්ජන් දූපත්, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, ඇන්ගුලා හා සාන්ත මාරියෝ යන රටවල පාපන්දු කණ්ඩායම් සිටිති.
ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ සටහනට අනුව වසර 2012දී 190 වැනි ස්ථානයේ සිට 2013දී 169 දක්වා ඉදිරියට ගියේය. අනතුරුව වසරින් වසර පසු බැසීමක් පෙන්නුම් කළ අතර, බංග්ලාදේශයේදී සුහද පාපන්දු තරගයක් ජය ලබා පියවරක් ඉදිරියට පැමිණියේය.
නව ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු ආසියාවේ රටවල්වන පාකිස්තානය 197, බංග්ලාදේශය 187, භූතානය 186, නේපාලය 169, මාලදිවයින 156, ඇෆ්ගනිස්තානය 152, හා ඉන්දියාව 106 යන ස්ථානවල රැඳී සිටිති.
ලෝක ශ්‍රේණිගත කිරීමේදී කණ්ඩායම් ඉහළට යෑම හෝ පහළ බැසීම වසර තුළ ක්‍රීඩා කරන අන්තර්ජාතික පාපන්දු තරග අනුව තීරණයවන බැවින් ලබන මාසයේ ශ්‍රී ලංකාවේ ආරම්භ වන අගමැති කුසලාන සිවුකොන් පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. එම තරගාවලියට සීෂෙල්ස්, මාලදිවයින, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගී වේ.