Sunday, September 22, 2024

අග්‍රහාර රක්ෂණ ගැසට් නිවේදනයකට විශ්‍රාමිකයන්ගේ විරෝධය – අපිවත් පාරට ගෙන්න ගන්න හදන්න එපා

අග්‍රහාර රක්ෂණය සඳහා විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපෙන් කොටසක් අයකර ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය 29 වනදා දිනයේ දී නිකුත් කළ චක්‍රලේඛයක් මගින් විශ්‍රාමිකයින්ගෙන් රුපියල් 400ක මාසික වාරික මුදලක් සහ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගෙන් රුපියල් 600 ක මාසික වාරික මුදලක් විශ්‍රාම වැටුපෙන් කපා ගැනීමටයි රජය තීරණය කර තිබුණේ.

විශ‍්‍රාමිකයන් 6,60,934 කගේ අනුමැතියකින් තොරව අග‍්‍රහාර රක්‍ෂණයට බැරකරන මුවාවෙන් ආණ්ඩුව විශ‍්‍රාම වැටුප්වලින් මාසිකව රුපියල් මිලියන 234 කට අධික මුදලක් කපා ගැනීමට මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇතැයි විශ‍්‍රාමිකයන්ගේ හිමිකම් සුරැුකීමේ ජාතික සංවිධානයේ ප‍්‍රධාන ලේකම් සරත් ලාල් පෙරේරා මහතා මෙහිදී පැවැසීය.

2016 ජනවාරි 01 ට පෙර විශ‍්‍රාම ගිය වයස අවුරුදු 70 ට වැඩි විශ‍්‍රාමිකයන්ගෙන් රුපියල් 600 ක්ද, වයස අවුරුදු 70 ට අඩු අයගෙන් රුපියල් 400 ක්ද ලෙස මුදල් කපා ගැනීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ඔක්තෝබර් 29 දා චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් එය පාදක කරගෙන විශ‍්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩයස් මහතා නොවැම්බර් 5 දා චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවද ඔහු කීය.

මෙම චක‍්‍රලේඛය මගින් විශ‍්‍රාම වැටුපෙන් කපා ගන්නා මුදල වැඩිකර ඇතත් එතෙක් විශ‍්‍රාමිකයන්ට අග‍්‍රහාර රක්‍ෂණයෙන් හදිසි අනතුරකදී ගෙවන රුපියල් ලක්‍ෂ 6 ක මුදලද ස්වාභාවික මරණයකදී ගෙවූ රුපියල් ලක්‍ෂ 1 1/2 ක ගෙවීම්ද කපා හැර චක‍්‍රලේඛය නිකුත් කර ඇතැයිද ඔහු කීය.

එසේම රක්ෂණ යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකරගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයන් මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට සති දෙකක් ඇතුළත තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැන්විය යුතුවිය.

කෙසේවෙතත් රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගම් රජයේ මෙම තීරණයට විරෝධය පළ කර ඇත.

සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ විධායක සභික එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා,

“දැන් දිගින් දිගටම අපිට දුරකථන ඇමතුම් එනවා. සාමාන්‍යයෙන් අය වෙන්නේ රුපියල් 200ක්. ඒ යටතේ අග්‍රහාර හිමිකම අපි ඉල්ලා හිටියේ. අලුත් චක්‍රලේඛයෙන් ඒක වෙනස් කරලා හිතුවක්කාරීව මුදල් අයකිරීමට බලයක් නැහැ. කොට්ඨාස සංගම් හැටියට අපි රු.100ක් අයකරනවා. ඔය විදියටම අපි අපේ අයට ගෙවනවා. ආණ්ඩුවට බැරිද සාමාන්‍ය ලෙස දෙන්න. මේ චක්‍රලේඛයට ලොකු විරෝධයක් තියෙනවා. අපිව පාරට බස්සන්න ලෑස්තිවෙන්න එපා.”

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම චක‍්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ විශ‍්‍රාමිකයන්ගේ ඉල්ලීම් මත බවත් ඔවුන් විරුද්ධ වන්නේ නම් එය නතර කිරීමට අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගැනීමට සූදානම් බවත්ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles