Saturday, September 21, 2024

ජනපති හදිසියේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට යයි

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්ව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිවරයා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයාබලා තිබේ.

හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තිය බවත් මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මඟහරවා ගනිමින් යළ කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී තිබිණ. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලිය යුතු බවත් ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කෙරිණ. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය වසර දෙක තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මගින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක 9ක සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව එහිදී නිලධාරිහු පෙන්වා දුන්හ.

දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් ය. ඒවා පුරන් වීමට හේතු විමර්ශනය කර, හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත්ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ශාඛා 559කින් යුත් ගොවිජන බැංකු මගින් ගොවීන්ගේ තැන්පතු භාරගැනීම සහ ණය දීම සිදුකෙරේ. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා කන්න සහ වාර්ෂික ක්‍රමවේදයට ණය ලබා දෙයි. එමගින් වෙනත් පාර්ශ්වයන්ගෙන් අධික පොළි මත ණය මුදල් ගැනීමෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වන ගැටලු රැසකින් මිදිය හැකි බව නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙහි ඇති වැදගත්කම සලකා ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

“ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය” දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ “කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායීතාව ලබාගත හැකි වන පරිදි ආයතනික, සහායක, නෛතික සහ කළමනාකරණ සේවාවක් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යාම”යි.

එම අරමුණු නිසි අයුරින් සිදු වන්නේ ද යන්න සොයා බැලීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයේ අපේක්ෂාව විය. දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles