Friday, November 15, 2024

පුටින් බටහිරට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක හමුදා සීරුවෙන් තබයි

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් එකමුතුව දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිචාර වශයෙන් රුසියානු ජනාධිපති පුටින් එරට න්‍යෂ්ටික හමුදාව සීරුවෙන් තබා ඇත.

යුක්රේනයේ කියෙව් නගරය හමුදාව විසින් ආක්‍රමණය කිරීමෙන් පසුව එම ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වූ බවට වාර්තාවීමත් සමග සිය න්‍යෂ්ටික බලඝණ සහ සන්නද්ධ හමුදාවන් අධි සීරුවෙන් තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවන්ට නියෝග කර තිබෙනවා.

නේටෝවේ ආක්‍රමණශීලී හැසිරීම සහ රුසියානු හමුදා නායකත්වයට පැනවූ ආර්ථික සම්බාධක හේතුවෙන් ඔහු මෙය නියෝග කළ බව පුටින් රූපවාහිනියෙන් පැවසීය.

බටහිර නායකයින් සහ නේටෝ නායකයින්ගේ දැඩි ආක්‍රමණශීලී ප්‍රකාශ හේතුවෙන් සිය න්‍යෂ්ටික අවි ඇතුළු හමුදා ඒකක වල ක්‍රියාකාරකම් අධි සීරුවෙන් තැබීමට තීරණය කළ බවයි රුසියානු රාජ්‍ය නාලිකාවෙන් ජනතාව අමතමින් විලැඩ්මීර් පුටින් ප්‍රකාශ කළේ.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ රූපවාහිනී සාකච්ඡාවකදී පුටින් පැවසුවේ “රුසියානු හමුදාවේ ආරක්ෂක හමුදා විශේෂ සටන් සූදානමක් මත තබන ලෙස මම ආරක්ෂක ඇමතිට සහ සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියාට උපදෙස් දෙමිනි.

මෙම ප්‍රකාශය සමඟ එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනි ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජනාධිපති පුටීන් මෙම යුද්ධය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි ආකාරයෙන් තීව්‍ර මට්ටමට ගෙන යමින් පවතින බවයි.

ඔහුගේ ක්‍රියාවන් හැකි තරම් ඉක්මනින් මැඩ පැවැත්විය යුතු බවත් ඇය අවධාරණය කර තිබෙනවා. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව යුරෝපීය රාජ්‍යයකට එල්ලවූ විශාලතම ප්‍රහාරයේ සිව්වන දිනය වන අද දිනයේ දී යුක්‍රේනය සහ රුසියාව අතර සාකච්ඡා බෙලරුසියානු සහ යුක්රේන දේශ සීමාවේදී පැවැත්වීමට තීරණය වූ බවයි වාර්තා වන්නේ.

යුක්රේන අගනුවර තුල මේ වන විට ඇදිරි නීතිය ක්‍රියාත්මක අතර කිසිදු පුද්ගලයෙකුට නිවෙස් වලින් බැහැර වීමේ අවසර හිමි නොවන අතර එලෙස පිටවන පිරිස් රුසියානු හිතවාදීන් ලෙස නම්කරන බවයි යුක්රේන රජය ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, යුක්රේන සිවිල් වැසියන්ද මේ වන විට නගරය ආරක්ෂා කර ගැනීමට රුසියානු හමුදාවන්ට එරෙහිව යුද වදිමින් සිටින අතර, පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් රුසියානු හමුදා පසුබට කිරීමට උත්සහ දරන ආකාරය දැක්වෙන විඩියෝද මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

ඇමරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය හා ප්‍රංශය යන රටවල් මේ වන විට යුක්‍රේනයට අවශ්‍ය අවි ආයුධ ලබාදෙමින් සිටින අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහල නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

කිසිදු කොන්දේසියකින් තොරව දෙ රටේ නායකයන් බෙලරුසියානු දේශසීමාවේදී හමුවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලන්ස්කි බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකින් අනතුරුව රුසියානු සහ යුක්‍රේන දූත කණ්ඩායම් බෙලරුසියාවේ ප්‍රිප්යාට් ගඟ අසබඩ පිහිටි ප්‍රදේශයේදී සාම සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

යුක්රේන දූත පිරිස එහි යන විට සහ නැවත පැමිණීමේදී ඔවුන්ගේ ආරක්ෂාව ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් භාර ගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සැලසුම් කළ කාලසීමාවට වැඩි කාලයක් ගත වනු ඇති බවයි යුද විශ්ලේෂකයන් පෙන්වා දේනනේ.

කියෙව් ආක්‍රමණය පවා රුසියාව විසින් බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රගතියක් අත් කර නොගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අනෙකුත් නගරද අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මීට පෙර මාධ්‍ය වාර්තා පලවී තිබුණේ යුක්‍රේනය ආක්‍රමණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට රුසියාවට දින දෙකක කාලයක් ප්‍රමාණවත් බවයි.

මේ අතර ඉදිරි පෙළ සටන් සඳහා යුක්‍රේනියානුවන් බඳවා ගැනීම මේ වන විටත් අඛණ්ඩව සිදුවන බව වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles