යුක්රේනයට එල්ල වෙමින් පවතින රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් අද (මාර්තු. 01) උදෑසන යුක්රේනයේ සිටි ඉන්දීය ජාතික ශිෂ්‍යයෙකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසයි.
එම ඉන්දීය ශිෂ්‍යයා ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ අද (01) උදෑසනය. ඒ ගැන ශෝකය පළ කරමින්, විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත්තේ එය මහත් අවාසනාවන්ත සිදුවීමක් බවය.
ජීවිතය අහිමි වූ ශිෂ්‍යයා නගරයෙන් පිටවීමට යන මාර්ගය සොයා ගැනීමට උත්සාහ කරමින් සිට ඇති අතර උදෑසන 8.00 ට අවසන් වරට ඔහු තමාට කතා කළ බව ඔහුගේ නේවාසික මිතුරා ඉන්දිය මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හවාරි ප්‍රදේශයේ සිට යුක්රේනයට ගොස් සිටි වෛද්‍ය ශිෂ්‍යයෙකු වන ඔහු, රුසියානු සෙබළුන් කාර්කිව්හි පිහිටි රජයේ ගොඩනැගිල්ලකට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇත.
මේ සමග “ඉන්දියානු ජාතිකයන් සඳහා හදිසි ආරක්ෂිත ගමන් මාර්ගයක් සඳහා ඉන්දියාවේ ඉල්ලීම නැවත අවධාරණය කරන ලෙස” ඉන්දීය විදේශ ලේකම් හර්ෂ්වර්ධන් ශ්රින්ගාලා රුසියානු සහ යුක්රේන තානාපතිවරුන්ට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ, රුසියාවේ සහ යුක්රේනයේ රැඳී සිටින ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවට වාර්තා වන බව ය.
යුක්රේනයේ විදේශ සිසුන් බොහෝ දෙනකු අධ්‍යාපනය ලබන අතර, එම සිසුන් යුක්රේනයෙන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් පියවර ගෙන ඇත. ඉන්දියාව ද විශේෂ ගුවන් යානා ඒ සඳහා යෙදවුණු බව පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව ඔවුන්ගේ ආක්‍රමණය ආරම්භ කිරීමට පෙරය.
තවමත් යුක්රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 ක් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය පවසා තිබේ.
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව්හි රුසියානු හමුදා ප්‍රහාර මගින් විශාල ලෙස හානි සිදු කරන වීඩියෝ දර්ශන නිකුත් වී ඇති අතර ඉන් එක් වීඩියෝවක නගරයේ විශාලතම රජයේ ගොඩනැගිල්ල පුපුරවා හැර ඇති බවට තහවුරු වන දර්ශන ද වේ.