රුසියානු රොකට් ප්‍රහාර හමුවේ තවත් යුක්රේන තෙල් ගබඩා සංකීර්ණ දෙකක් ගිනිගෙන ඇති බව වාර්තා වනවා.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි හට දුරකථන ඇමතුමක් ද ලබා දී තිබෙනවා.
එහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, හැකි වහා ම දෙරට අතර සාම සාකච්ඡා සඳහා යොමුවිය යුතු බවයි.
ඉන්දීය රජය සෑම විට ම ලෝක සාමය අගය කරන බවත් මෙම ගැටුම ද සාමකාමී මාවතක් ඔස්සේ විසඳා ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
මෙම දුරකථන සාකච්ඡාවේ දී මේ වන විට යුක්රේනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එරට ජනාධිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර, සිදු ව ඇති මානව විනාශය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය කනගාටුව පළකර ඇති බවයි ඉන්දීය රජය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වුණේ.
එමෙන්ම යුක්රේන රාජ්‍යය තුළ උසස් අධ්‍යාපනය හැදෑරූ විසි දහසකට අධික ඉන්දීය සිසු සිසුවියන් නැවත සිය රට ගෙන්වා ගැනීම සඳහා මෙම අසහනකාරී අවස්ථාවේ යුක්රේන රජය දැක්වූ සහයෝගයට ස්තුතියි කිරීමටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහි දී අමතක කර නැහැ.
එමෙන්ම තවදුරටත් යුක්‍රේනය තුළ රැඳී සිටින ඉන්දීය සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර ඊයෙ එල්ල කළ රොකට් සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ සයිටොමීර් සහ චර්නිකිෆ් ප්‍රදේශයේ තිබූ තෙල් ගබඩා සංකීර්ණ 2කට හානි සිදු වී තිබෙනවා.
මෙයින් එක් රොකට් ප්‍රහාරයක් එල්ල වූ සයිටොමීර් තෙල් ගබඩා සංකීර්ණයේ පැට්‍රෝල් ඝන මීටර දහයක සංචිතයක් තිබූ බවයි වාර්තා වන්නේ.
එම තෙල් ගබඩා සංකීර්ණය ප්‍රහාරය එල්ල වූ සැනින් ගිනි ගෙන ඇති අතර එම ගින්න පාලනය කිරීම සඳහා යුක්‍රේන ගිනි නිවන ඒකක හතරක් කටයුතු කරන බවටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම අනෙක් ප්‍රහාරය හේතුවෙන් චර්නිකිෆ් තෙල් ගබඩා සංකීර්ණයේ තවත් ඉන්ධන තොගයක් ගබඩා කර තිබූ ටැංකියකට සහ හිස් ඉන්ධන ටැංකි 2කට දැඩි හානි සිදුවී ඇති අතර, එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිවු දෙනකුට ද තුවාල සිදු වී ඇති බවයි යුක්‍රේන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාරයත් සමඟ ගබඩාව අවට පදිංචිකරුවන් වහා ම එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කළ අතර, දෙවැනි ප්‍රහාරය එල්ල වූ චර්නිකිෆ් තෙල් ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ ඉන්ධන තොගය කොපමණක් ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.
මේ අතර යුධ විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ, මේ වන විට රුසියාව විසින් යුක්රේනයේ ඛනිජ තෙල් ගබඩා සෘජුව ම ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.
මේ අනුව ඔවුන් විශ්වාසය පළ කරන්නේ, ඉදිරියේ දී යුක්‍රේනය තුළ බරපතළ ඉන්ධන හිඟයක් ඇති කර ඒ හරහා යුක්‍රේන සන්නද්ධ හමුදාවන්ට සහ එරට පරිපාලනයට බරපතළ පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විටත් යුක්‍රේනයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය ඇතුළු තෙල් ගබඩා සංකීර්ණ රැසකටත් රුසියානු රොකට් සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ හානි සිදු ව ඒවා ගිනි ගනිමින් ඇති බවයි.
මේ අතර යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලා සිටී යුක්රේනය, මෝල්ටාව සහ ජෝර්ජියාවේ සාමාජික ඉල්ලුම් පත්‍ර වහා ම සලකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවත් වාර්තා වනවා.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, යුක්‍රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට දැරූ උනන්දුව බවයි.
කෙසේ වෙතත් මෙම නව තත්ත්වය හේතුවෙන් බොහෝවිට රුසියානු ආක්‍රමණය තවත් දැඩි විය හැකි බවට දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවයි.