කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ලොතරැයි පත් හතරක් වෙලද පලට නිකුත් නොවිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ලොතරැයි අලෙවි සහකරුවන් පවසති.
එම අලෙවි සහකරුවන් පවසන්නේ පවතින කඩදාසි හිගය හේතුවෙන් මේ වන විට ගොවිසෙත, ජාතික සම්පත, වාසනා සම්පත, සෙවන යන ලොතරැයි පත් අලෙවිය සදහා නොලැබෙන බවයි.
මෙසේ මෙම ලොතරැයි පත් හතර වෙලද පලට නොලැබිමත් සමග තම දෛනික ආදායම අඩුවි ඇති බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.
මෙි හේතුවෙන් දිවයිනේ ලොතරැයි පත් අලෙවියේ යෙදෙන නියෝජිතයන්, ලොතරැයි අලෙවි සහායකයන් තිස්දාහකට අධික පිරිසක් අසරණ වී ඇතැයි සමස්ත ලංකා ලොතරැයි පත් අලෙවි නියෝජිතයන් ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා කියයි.
මීට අමතරව ඔවුන්ගෙන් යැපෙන පවුල් ලක්ෂ දෙකක් ද ඉතා අපහසුතාවයට පත්ව ඇතැයි ද හෙතෙම කියා සිටී.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයාට ලිඛිතව දැනුම් දී ඇතත් ඒ සඳහා කිසිදු විසඳුමක් මෙතෙක් ලැබී නැතැයි ඔහු කියා සිටී.
ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩිම අලෙවියක් තිබූ ලොතරැයිය සේ සැලැකෙන ගොවිසෙත ලොතරැයිය ද නවතා දැමීම ගැන විශාල කුකුසක් මේවන විට මතුව ඇතැයි වාර්තා වේ. මේ ලොතරැයියට නම තබා ඇත්තේ කලාසූරී අරිසෙන් අහුබුදු මහතා විසිනි.
හඳහන ලොතරැයිය ආරම්භ කර ඇත්තේ ඉතා මෑතක දී මේ ආණ්ඩු සමයේදී වන අතර එම ලොතරැයිය සඳහා වැය කළ ප්‍රචාරණ වියදමට සාපේක්ෂ ලාභයක් හෝ ඉන් ජාතික ලොතරැයි මණ්ඩලයට ලැබී නැතැයි මේ අතර වාර්තා වේ.
මේ අතර ලොතරැයිපත් මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසිවල හිඟයක් නිසාවෙන් බොහෝ දුරට ඉතිරි ලොතරැයි මුද්‍රණය සදහා ප්‍රමාණවත් කඩදාසි තවත් ඇත්තේ තවත් දින කිහිපයකට පමණක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින ඩොලර් අර්බුදය හා මුද්‍රණ කඩදාසි ආනයනය සීමා සහිත වීම මත මෙම අර්බුදය හට ගෙන තිබේ. කෙසේ නමුත් මෙයට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් ආයතනයකින් ද මේ සම්බන්ධයෙන් අවශ්‍ය මුද්‍රණ කොළ ලබා ගැනීම සදහා විමසීමක් කර ඇති නමුත් එයින් ද යහපත් ප්‍රතිචාරයක් හිමි වී නොමැති බව වාර්තා වෙයි.
පසුගිය කොවිඩ් රැල්ලේ දී රට වසා තැබූ අවස්ථාවේ ලොතරැයි අලෙවි නියෝජිතයන්ට සහ අලෙවි සහායකවරුන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පියවර ගෙන ගෙන තිබුනි.
රජයේ සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් ලොතරැයි අලෙවිය නතර කිරීමෙන්, පසුගිය කාලය තුළ ලොතරැයි අලෙවි නියෝජිතයන් සහ අලෙවි සහායකවරු දැඩි අපහසුතාවයට පත් වූ අතර, කිසිදු සහනයක් නොලැබ සිටි එම ලොතරැයි අලෙවි නියෝජිතයන්ට හා අලෙවි සහායකවරුන්ට මෙන්ම දීමනාව ලබා දීම විශාල ධෛර්යයක් වී තිබුනි.
කෙසේ නමුත් මෙම මුද්‍රණ කඩදාසි හිඟවීමේ අර්බුදය හමුවේ යළිත් එම ක්ෂේත්රයේ ජීවනෝපාය කර ගත් අලෙවි නියෝජිතයින් දැඩි ගැටළුවකට මුහුණ දෙනු ඇත.