Tuesday, April 30, 2024

විදුලි බිල වැඩිවන හැටි.! ඒ්ත් ලයිට් කැපේ!!!

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ සඳහා වූ අනුමැතිය මහජන උපයෝගීතා කොමිසම විසින් ඊයේ පස්වරුවේ ලබාදුන් බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.

අදාළ අනුමැතිය ලබාදී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ අත්සනින් යුතු ලිපියක් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වෙත යොමු කරමින්.

ඒ සිය කොමිසමේ සාමාජිකයින් තිදෙනා අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත මීට පෙර ලිපියක් යොමු කර ඇති පසුබිමක් තුළයි.

ගෘහස්ථ

නව සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි වන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව වැඩිවන්නේ රුපියල් 37 කින්.

ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි වනවා.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121  සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

එමෙන්ම මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්,

ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ  ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ,

ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබෙනවා.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව වැඩිවී ඇත්තේ රුපියල් 1500 කින්. 


ආගමික ස්ථාන

ආගමික ස්ථාන හා පුණ්‍යාගාමික ස්ථාන සඳහා පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකළ රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර තිබෙනවා. ඒකක 180ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 32ක් වෙනුවට රුපියල් 50ක් අය කෙරෙනවා.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා මුල් ඒකක 30ට අය කළ රුපියල් 90ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩයට රුපියල් 120ක් ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, 1,80ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 1,500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 දක්වාත් වැඩිවනවා. 

ව්‍යාපාර හා කර්මාන්ත

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණයි.

ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම රුපියල් 20ක්ව පැවති ගාස්තුව රුපියල් 26ක් දක්වා ද වැඩි වී තිබෙනවා.

පළමු ඒකක 300 සඳහා අය කළ රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත්, ඒකක 300ට වැඩි සෑම කර්මාන්තයක් සඳහාම අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 1600 දක්වා පමණයි.

වෙනත්

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180ට අඩු කාණ්ඩයට රුපියල් 25ක් පැවති ඒකකයක මිල රුපියල් 40ක් දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩය සඳහා අය කළ රුපියල් 32ක ඒකක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි වනවා.

පොදු කාර්යන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා පළමු ඒකක 180 සඳහා අය කළ රුපියල් 360ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වාත්, ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා අය කළ රුපියල් 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වා වැඩි කිරීමට මීට පෙර විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles