Saturday, September 21, 2024

හොරු ගැන ජනපති විමසිල්ලෙන් -ඇමති දයාසිරි

පසුගිය පාලන සමයේදී සිදුවූ සොරකම් මෙන්ම වර්තමානයේදී සිදුවන සොරකම් සම්බන්ධයෙන්ද නිවැරදි දඬුවම් ක්‍රියාත්මක විය යුතුය යන ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවත් සිදුවන සියලු දේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විමසිලිමත් බවත් ඇමැතිවරයා පැවසීය.

පසුගිය පාලන සමයේ සිදුවුවත් වර්තමානයේ සිදුවුවත් සොරකම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් වූ වහාම අවශ්‍ය පියවර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගන්නා බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා‍ නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (2) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිසමක් පත්කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු වන කේ ටී චිත්‍රසිරි සහ සුජිව ජයවර්ධන යන මහත්වරුන් සහ හිටපු විගණකාධිපතිවරයකු වන කන්දසාමි වේලුපිල්ලේ මහතා ඒ සඳහා පත්කර තිබෙනවා.

2015 පෙබරවාරි පළමුවැනිදා සිට 2016 මාර්තු 31 දක්වා‍ කාලය තුළ නිතුක් කරන ලද මහාභාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව ශ්‍රී ලංකා මහබැංකුවේ කළමනාකරණය, පරිපාලන කටයුතු පවත්වාගෙන ගිය ආකාරය විමර්ශනය කිරීම, බැඳුම්කර නිකුතුවේදී වංචනික ලෙස කටයුතු කර තිබේද, බැඳුම්කර අලෙවිය සඳහා නිසි පරිදි ටෙන්ඩර් කැඳවීමක් කර තිබේද, නිසි කාර්ය පටිපාටියට අනුව කටයුතු කර නැද්ද, බැඳුම්කර අලෙවිය සම්බන්ධයෙන් අනිසි ලෙස හෝ අක්‍රමික ලෙස කිසියම් ටෙන්ඩර් ප්‍රදානයක් සිදුකර තිබේද, ආදි කරුණු සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොමිසම මඟින් පරික්ෂණ සිදුකරනවා. විශේෂයෙන්ම මෙවැනි කොමිසමක් පත්කිරීම ඉතා වැදගත්.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත්නොකරනේ ඇයි කියා ඇතැමුන් ප්‍රශ්න කරනවා. එලෙස විමසන්නෙ නීතිය පිළිබඳව නොදන්නා අයයි. ජනාධිපතිවරයා විසින් පත්කර ඇති මෙම විමර්ශන කොමිසම කටයුතු කරන්නේ ප්‍රාථමික අධිකරණ ක්‍රියාවලියක් ආකාරයෙන්. විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළොත් මෙවැනි ආකාරයට විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිසමට මෙවැනි නිලධාරීන් පත්කරන්න බැහැ.

මෙම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම ජනාධිපතිවරයා සිටින ස්ථාවරයේ කිසිඳු වෙනසක් නැහැ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා සඳහන් කළා, තම ස්ථාවරය. සොරකමට ජනාධිපතිවරයා විරුද්ධයි. ඉතිහාසයේ පමණක් නොව වර්තමානය තුළ සිදුවන සොරකම් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා විමසිලිමත්.

ඒ වාගේම මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව සිදුකරන මෙම විමර්ශන කටයුතු මාස තුනකින් අවසන් වෙනවා. ඉන් පසුව අදාළ දඩුවම් ක්‍රියාත්මක කරයි. ඒ වගේම වංචාවට දූෂණයට සම්බන්ධ කිසිවෙක් ආරක්ෂා නොකළයුතුය යන මතයේ ජනාධිපතිවරයා සිටිනවා. ඒ වගේම මෙම සිද්ධිය නිසා රටට පාඩුවක් සිදුව තිබේනම් එම මුදල් අයකර ගැනීම වෙනුවෙන්ද කටයුතු කරනවා.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය:-

මේ දිනවල ජලය ප්‍රවේසමෙන් පරිහරණය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පානීය ජලය ප්‍රවේසම් කරගත යුතුයි.

ඒ වගේම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්වන කාන්තා නියෝජනය වැඩිකිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා වැඩි වශයෙන් කාන්තාවන්ට ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටිනවා. මෙය ස්වර්ණමය අවස්ථාවක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල විවිධ දේ ප්‍රකාශ කරනවා. එතුමා සිදු කරන ඇතැම් ප්‍රකාශ නිසා සිදුවන්නේ පක්ෂය දෙකඩවිමයි. මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා උඩට නඟින්නට දායක වූ ඉණිමඟට පයින් ගසන්නට එපා කියා. එතුමා ශක්තිමත් වූයේ එතුමා පන්නරය ලැබුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්. එය අමතක නොකරන ලෙස මම එතුමාට කියා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles