Saturday, November 16, 2024

ටෙලිකොම් පාපැදි සවාරියට සියල්ල සූදානම්

කොළඹින් හෙට (25) ආරම්භවන ටෙලිකොම් පාපැදි සවාරිය සඳහා තරගකරුවන් 150 දෙනෙකුගේ සහභාගීත්වයක් අපේක්‍ෂා කර තිබේ. කෙසේ වුවත් රේසින් (පිරිමි) තරගය සඳහා මෙවර ක්‍රීඩා සමාජයකින් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය උපරිම 12 දෙනකුට (අවම ගණන හතරක්) සීමාකර තිබේ. ඊයේ වනවිට තරග කරුවන්ගේ සහභාගීත්වය 110 ක් පමණ වී තිබුණි.

එහෙත් එය මෙවර ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය අවම කිරීමට බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය පවසයි. කලින් තරග අවස්ථාවලදී ක්‍රීඩා සමාජයකට උපරිම ක්‍රීඩකයන් 18 දෙනකු සහභාගි කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි. එසේ වුවත් එතරම් ක්‍රීඩකයන් ගණනක් සහභාගි කිරීමේ හැකියාව පවතින්නේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩා සමාජවලට පමණක් බව ද වාර්තා වේ.

ඒ අතර මෙවර තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට පළමු අදියර තරගයේදී සහභාගිත්ව දීමනා ගෙවීම තරග අවසානයේදී සිදු කිරීමට තීරණය කර තිබේ. ඊට හේතුවී ඇතැයි පැවසෙන්නේ තරග ආරම්භක ස්ථානයට වාර්තා කරන ඇතැම් තරගකරුවන් දීමනා ලබා ගැනීමෙන් පසුව කිලෝමීටර් කීපයක් ගොස් තරගයෙන් ඉවත්වන බවට ලැබී තිබෙන චෝදනාය.

එසේම පාපැදි නිලවරණය ඉලක්ක කරමින් ඇතැම් ක්‍රීඩා සමාජ මෙවැනි තරග අවස්ථාවලදී ව්‍යාජ අන්දමින් තරගකරුවන් සහභාගි කිරීමට උනන්දු වන බවට ද තොරතුරු ලැබී තිබේ. ඊට හේතුව ක්‍රීඩා සමාජ සම්මේලනයේ ලියාපදිංචි කිරීමේදී තරගකරුවන් ඊට ඇතුළත්ව සිටිය යුතු බවට පනවා තිබෙන කොන්දේසියයි.

මේ අතර කිලෝමීටර් 765 ක් වන මුළු දුරක් දින පහක් පුරා ධාවනය කෙරෙන මෙවර ටෙලිකොම් පාපැදි සවාරියේ ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පාපැදි ක්‍රීඩා ප්‍රවීණයකු වන සුමිත් බාලසූරිය මහතා පත්කර තිබේ.

කෙසේ වුවත් මෙවර ප්‍රධාන තීරකවරයා ලෙස පත් කළ පාපැදි විනිසුරුවරයා එම ධුරය බාරගැනීම පිළිබඳව ඊයේ වන විටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණි. ඊට හේතුවී ඇතැයි පැවසෙන්නේ තරගයේ රූපවාහිනී විකාශයේ විශේෂඥ විස්තර විචාරකයෙකු ලෙසත් නම් කර සිටි ඔහු පසුව එයින් ඉවත් කිරීම බවද දැනගන්නට ඇත.

එම පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී තිබෙන බව කියන විරෝධතා හමුවේ ඔහු ඉවත් කර තිබෙන බවත් ඒ  සඳහා මේ වනවිට ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතා යෝජනාවී තිබෙන බව ද දැනගන්නට ඇත. පාපැදි සම්මේලනයේ ලේකම්වරයාගේ නිර්දේශ මත ඔහු රූපවාහිනී විශේෂඥ විස්තර විචාරක යෙකු ලෙස පත්කර තිබෙන බැවින් එයින් ඉවත් කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා මෙලෙස ඔහු ප්‍රධාන තරග තීරක ධුරයෙනුත් ඉවත්වීමට තීරණය කර තිබූ බව වැඩිදුරටත් වාර්තා විය.

ඒ අතර ඊයේ වැඩිදුරටත් වාර්තා වූයේ ක්‍රීඩා සමාජ සඳහා ඒ වන විටත් තාක්‍ෂණ මාර්ගෝපදේශය නොලැබීමෙන් තරගකරුවන් දුෂ්කරතාවයට පත්ව සිටි බවයි. තරගයේ කළමණාකරුවන්ගේ රැස්වීමක් අද (24) පැවැත්වීමට නියමිතව තිබුණි.

පොලිස්, වරාය, දෙහිවල-ගල්කිස්ස, සිවිල් ආරක්‍ෂක, රංජිත් අනුර,  ෆිඞ් ඇරෝස්, ද ෆ්‍රෙන්ඞ්ස්, කින්දරා, සුපර් බේරු යන ක්‍රීඩා සමාජ හැරෙන්නට තරගයට අනුග්‍රහය දක්වන ටෙලිකොම් ආයතනයෙන්ද චාමික සනත් කුමාර ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කිරීමට සූදානමින් සිටියේය. පාපැදි සම්මේලනයේ එළඹෙන නිලවරණය ඉලක්ක කරමින් තරග සඳහා නිලධාරීන්ගේ පත්කිරීම් කරන බවට මේ වනවිට එහි ඇතැම් ප්‍රධානීන්ට චෝදනා එල්ලවී තිබේ.

මේ අතර කිලෝමීටර 72 ක් දුරැති (රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා) කාන්තා විවෘත පාපැදි තරගයක්ද ටෙලිකොම් පාපැදි සවාරියට සමගාමීව ලබන සෙනසුරාදා (29) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles