Thursday, October 31, 2024

බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විභාගය සතියකට කල් තබයි

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් ලෙස විමර්ශන සිදුකිරීමට සහ කරුණු අධ්‍යයනය කිරීමට ඉඩ ලබාදෙමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විමසීමේ කටයුතු අගෝස්‌තු 25 වැනි සිකුරාදා දක්‌වා කල් දැමීමට තීරණය කළ බව එම කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (17 දා) පැවසීය.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් කළ ඉල්ලීමක්‌ සලකා බලමින් කොමිසම මෙසේ සාක්‌ෂි විභාගය අත්හිටුවීමට තීරණය කළේය.

කොමිසමේ සාක්‌ෂි විභාගය ඊයේ අවසන්වූ අවස්‌ථාවේදී නැගී සිටි දප්පුල ද ලිවේරා මහතා කියාසිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් 240,000 ක්‌ විමර්ශනයට ලැබී තිබීම සහ අධ්‍යයනය කිරීමට ඇති ලේඛනවල ප්‍රමාණය සහ විශාලත්වය මෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් ලෙස විමර්ශනයට ලක්‌ කළ යුතුව ඇති බවයි.

මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට කාලය අවශ්‍ය බැවින් කොමිසමේ සාක්‌ෂි විභාගය අඩු තරමේ සතියකටවත් අත්හිටුවන ලෙස ජනාධිපති නීතිඥ දප්පුල ද ලවේරා මහතා ඉල්ලා සිටි අතර එම කරුණු සලකා බලමින් මෙසේ කොමිසමේ සාක්‌ෂි විභාගය සතියකින් අත්හිටුවීමට තීරණය කරන ලදී.

සතියට පෙර අදාළ විමර්ශන කටයුතු අවසන් කළහොත් ඒ බව දන්වන ලෙස කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා දප්පුල ද ලිවේරා මහතාට කීවේය.

එහෙත් අදාළ විමර්ශන සහ ලේඛන අධ්‍යයනය කිරීම සතියකට පෙර අවසන් කළ නොහැකි වනු ඇතැයි ලිවේරා මහතා කොමිසමට පෙන්වා දුන්නේය.

කොමිසමේ සාක්‌ෂි විභාගය සතියකින් කල් දමන ලෙස රජයේ නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් හෝ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විරෝධයක්‌ දැක්‌වූයේ නැත.

මෙහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඇමතු කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා කීවේ කොමිසමට සහාය වෙමින් නීතිපති දෙපාර්තමේන්තුව දක්‌වන සහාය සහ ඒ සම්බන්ධයෙන් දක්‌වන කැපවීම කොමිසම විසින් අගය කරන බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ඇතැමුන්ට නිsසි අවබෝධයක්‌ නැති බවද විනිසුරු ජයවර්ධන කීවේය.

කොමිසම අගෝස්‌තු 25 වැනි සිකුරාදා උදේ 10.00 ට යළි රැස්‌වේ. එදින සාක්‌ෂි ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා යළි කොමිසම හමුවට කැඳවා ඇති අතර ඔහුගෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්aන කරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles