Saturday, July 27, 2024

ICCPR වේගයෙන්ම විමල් ඇතුළට ගනීද?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නඩුවේ පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණයේ පෙනී සිටියේ නැහැ.


මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන විත්තිකරුවන් අද අධිකරණය හමුවේ  පෙනී සිටියා.


එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම නඩුව කැඳවන සෑම දිනයකම එක් එක් විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නඩුව කිසි දිනෙක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.


විත්තිකරුවන් මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම මග හැරිය හොත් විත්තිකරුවන් සියලු‍ දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුව ඇසීමට සිදු වන බවත් එහිදී මහේස්ත්‍රාත්වරයා අනතුරු අඟවා සිටියා. ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමට ද නියම කෙරුණා.


2016 වසරේ එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර උද්ඝෝෂණයක නිරත වීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කොට විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles