Wednesday, May 8, 2024

ඉන්දු – ප්‍රංශ සබඳතා තවදුරටත් පුළුල් වෙයි- ආරක්ෂක සහයෝගීතාව තහවුරු කිරීමටත් ගිවිසුම් මාලාවක්

ප්‍රංශ බැස්ටීල් දින සැමරුමේ ගෞරවණීය ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ඇරයුම් ලැබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අතරතුර දෙරට අතර තාක්ෂණික සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අදාළ ගිවිසුම් කිහිපයක් අත්සන් කර තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය වැදගත් වූයේ 2023 වසරේදී ප්‍රංශය සහ ඉන්දියාව ඔවුන්ගේ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වසර 25ක් ද සමරන බැවිනි..
මෙම සංචාරය අතරතුර ඉන්දියාව සහ ප්‍රංශය ඉන්දීය නාවික හමුදාව සඳහා සබ්මැරීන තුනක් සඳහා ගිවිසුම් සහ ජෙට් සහ හෙලිකොප්ටර් එන්ජින් සංවර්ධනය කිරීම ඇතුළු ආරක්ෂක සහයෝගීතාව පුලුල් කිරීමේ ගිවිසුම් මාලාවක් ප්‍රකාශයට පත් කෙරුණි
විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම සියල්ල මගින් පෙන්නුම් කරන්නේ ඉන්දු ප්‍රංශ සබඳතාවල ඇති ගැඹුර බවයි.
මෙම ගිවිසුම්වලට අමතරව ඒකාබද්ධ ගෙවීම් ක්‍රමයක් වන UPI ගෙවීම් පද්ධතිය පිළිගැනීමට ප්‍රංශය එකඟතාව පළ කර ඇති අතර පැරිසියේ අයිෆල් කුළුණ එම ගෙවීම් පද්ධතියට පළමුවෙන්ම සම්බන්ධ වනු ඇත.
ඒ අනුව අයිෆල් කුළුණ නැරඹීම සඳහා එන ඉන්දීය ජාතිකයන්ට එහිදී සිය ගෙවීම් කටයුතු ඉන්දීය රුපියල් මගින් සිදුකළ හැකි වේ.
මීට අමතරව අඩු සහ මධ්‍යම බල මොඩියුලර් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉදිකිරීම සඳහා හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට දෙරට එකඟ වූහ.
Scorpene සබ්මැරීන ඉදිකිරීම් වැඩසටහන හෙවත් P75 හි සාර්ථකත්වයෙන් පසුව,ඉන්දීය නාවික හමුදාව සඳහා Scorpene සබ්මැරීන තුනක් නිෂ්පාදනය කිරීමට ද මෙහිදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි.
ප්‍රහාරක ගුවන් යානා එන්ජින් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා සහය දක්වමින් දෙපාර්ශ්වය උසස් ගගනගාමී තාක්ෂණයන් සඳහා ඔවුන්ගේ සහයෝගිතාව පුළුල් කර ගැනීමට ද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණ තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මාර්ග සිතියමක් සකස් කිරීම ප්‍රංශයේ සෆ්රාන් සහ ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය අතර මෙම වසර අවසන් වන විට සකස් කිරීමටද නියමිතව ඇත.
“ආරක්ෂක සහයෝගීතාව අපගේ සබඳතාවල ප්‍රධාන කුළුණක් වන අතර එය දෙරට එකිනෙකා කෙරෙහි ඇති ගැඹුරු විශ්වාසය පිළිබිඹු කරනවා . ප්‍රංශය Make in India සහ Atmanirbhar Bharat මුල පිරීම්වල වැදගත් හවුල්කරුවෙක්.මෙම සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපි තවදුරටත් අවධානය යොමු කරනවා,” යැයි මෝදි හින්දි භාෂාවෙන් කතා කරමින් මෙහිදී පැවසීය.
මෝදිට පෙර කතා කළ මැක්‍රොන්, පසුගිය යුද්ධවලදී සහ සිකුරාදා පැවති බැස්ටිල් දින පෙළපාළියේදී ඉන්දීය සොල්දාදුවන් ඉටු කළ කාර්යභාරය සිහිපත් කළේය.
ඔහු සඳහන් කළේ දෙපාර්ශ්වයේ සන්නද්ධ හමුදාවන් සමීප සබඳතාවක සිටින අතර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමටත් ඉන්දු පැසිෆික් කලාපය ඇතුළු ජාත්‍යන්තර නීතිවලට ගරු කිරීම සහතික කිරීමටත් දෙරටම කටයුතු කරමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles