Friday, April 26, 2024

ටික් ටොක් තහනමට කෙටුම්පතක්

අමරිකානු එක්සත් ජනපද රජයට නව බලතල ලබා දෙන සහ අවදානම් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයන්ට සීමා පැනවෙන පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සෙනෙට් සභිකයින් පිරිසක් පියවර ගෙන තිබේ.

එම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය සෙනෙට් සභිකයින් කණ්ඩායමට ප්‍රශංසා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ප්‍රකාශ කර ඇත්තේ රටට අවදානමක් ඇති කරන තාක්ෂණයන්ට එරෙහිව පියවර ගැනීම අවශ්‍ය බැවින් එම නීති කඩිනමින් සම්මත කර ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලා සිටින බවයි.

මාර්ක් වෝනර් සහ ජෝන් තූනේ ප්‍රමුඛ සෙනෙට් සභිකයින් පිරිසක් TikTok වැනි ජාතික ආරක්ෂාවට අවදානමක් ගෙන එන විදේශීය තාක්‍ෂණයෙන් එල්ල වෙමින් පවතින තර්ජන ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් තොරතුරු සන්නිවේදන සහ තාක්‍ෂණ ගනුදෙනු සමාලෝචනය, වැළැක්වීම සහ අවම කිරීමට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවට බලය ලබා දෙන මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

ඇමරිකානුවන්ගේ සුරක්ෂිත බව සහ ආරක්ෂාවට තාක්ෂණය මත පදනම් වූ තර්ජන ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ක්‍රමානුකූල රාමුවක් ඉදිරිපත් කරන බවද සුලිවන් සඳහන් කර ඇත.

අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ මාර්ක් වෝනර් මීට පෙර පෙන්වා දී තිබුණේ බොහෝ දෙනා තර්ජනයක් ලෙස දකින්නේ TikTok බවයි. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ නිරීක්ෂණ සක්‍රීය කරන්නේ කෙසේද, නැතහොත් එක්සත් ජනපදයට බලපෑම් ඇතිකරන ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට පහසුකම් සපයන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles