Saturday, July 27, 2024

රාජපක්ෂලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුල්පාරක්!

රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කල ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි  තීන්දු කළා.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිශව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.

ඒ අනුව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවත් එම තීන්දුවේ සඳහන් වුණා

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

සුළුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ තමන් අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බවයි.

එම පෙත්සම් නිසි නීතිමය කාලසීමාව තුළ ගොනු කර නොමැති වීම ඇතුළු හේතු කිහිපයක් මත පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු ජයවර්ධන මහතා සඳහන් කළා.

බහුතර විනිසුරුවරුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරෙහි අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ වග උත්තරකරුවන් වගකිවයුතු නිලතල දරා තිබෙන බව පෙත්සම් විභාගයේදී අනාවරණය වු බව සඳහන් කළා.

මෙම කාල සීමාව තුළ වගඋත්තරකරුවන් රට තුළ ආර්ථික අවපාතයක් මතුවිය හැකි බවට කරුණු වටහා ගෙන සිටි බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කළ අගවිනිසුරුවරයා මෙම තත්ත්වය වැළැක්වීමට ඔවුන් නිසි පියවර නොගත් බවත් සඳහන් කර සිටියා.

එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මහජනතාව මෙන්ම රටද දැඩි අගාධයකට ඇද වැටුණු බවත් තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

රට තුළ ආර්ථික අර්බුදයක් මතු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආර්ථික විශේෂඥයින් මත පළ කර තිබියදීත් වගඋත්තරකරුවන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කළ ආකාරයක් පෙනී නොයන බවත් වත්මන් ආර්ථික අර්බූදය මැඩලීමට තමන් සියලු ක්‍රියාමාර්ග ගත් බවට වගඋත්තරකරුවන් කරනු ලබන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් නඩු තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

 මේ තුළින් වගඋත්තරකරුවන් මහජන විශ්වාසය හා භාරව කඩ කරමින් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර වියතුන්ගේ තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග නිකුත් නොකරන බව සඳහන් කල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු වග උත්තර කරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(Credit – Nethnews)

Related Articles

Latest Articles