Tuesday, May 21, 2024

අනාගත දරු පරපුරට ඉන්න රටක් නැතිවෙයි -ඇමති දුමින්ද

අපි හැමදාමත් මැතිවරණ ඉලක්ක කරගෙන බඩු බෙදන සංකල්පයට ගියොත් පාක්ෂිකයොත් බඩු ටික ගනියි, සන්තෝෂෙන් ඉදියි, මැතිවරණයේදී අපිට කතිරය ගහයි.හැබැයි අනාගත දරු පරපුරට ඉන්න රටක් නැති වෙයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ තඹුත්තේගම හා රාජාංගනය ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත ජල පොම්ප බෙදා දීමේ අවස්ථාවට එක් වෙමින්ය.

තඹුත්තේගම හා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී මෙම ජල පොම්ප බෙදා දීම සිදු කෙරුණු අතර, ජල පොම්ප 100 කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී ගොවි ජනතාව වෙත ප්‍රදානය කෙරිණි.කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ අරමුණින් ගොවි ජනතාවට ජල පොම්පයේ මුදලින් 50% ක් පමණක් ලබා ගෙන ඉතිරි 50% ක පිරිවැය රජය මගින් දරමින් මෙම ජල පොම්ප බෙදා දීම සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

වගා නොකෙරුණු කුඹුරු අක්කර 1000 ක් පමණ අලුතින් අස්වද්දනටරාජාංගනය ගොවිජන බල ප්‍රදේශයේ උස්සාන ව්‍යාපෘතී ආරම්භ කර තිබෙනවා, ජල පොම්ප නොමැති ගොවි ජනතාව වෙත ජල පොම්ප ලබා දෙමින් උස්සාන ව්‍යාපෘති හරහා නව කුඹුරු අක්කර 1000 ක් වගා කරවනවා. මේ වසර අවසන් වීමට ප්‍රථම පහළ මල්වතු ඔය ජලාශයත් පටන් ගන්න කටයුතු කරනවා.අපේ පළාතට අවශ්‍යය ජලය ලබා දීම සදහා වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා.

ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 18 000 ක් සදහා කොම්පෝස්ට් කට්ටල ලබා දීමට බලාපොරොත්තු වෙනවා.දැනටමත් එම කොම්පෝස්ට් කට්ට්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා.ඉතා කඩිනමින් එම කොම්පෝස්ට් කට්ටල බෙදා දීමට අපි බලාපොරොත්තු වෙනවා.මේ කොම්පෝස්ට් කට්ටල සියල්ල ලබා දෙන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන අය සදහා පමණයි. අපි ඇතිතුමාට ජන්දය දුන්නා, ඒ නිසා හරි ෂෝක් මෙන්න ඇමතිතුමා අපිට තෑගි දුන්නා කියලා කියන්න කාටවත් මගේ දේශපාලන හිතවත්කම් වලට කිසි විටක් කොම්පෝස්ට් කට්ටල බෙදා දෙන්නේ නෑ.මේ කොම්පෝස්ට් කට්ටල සියල්ල ලබා දෙන්නේ කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබද පුහුණුවක් ලබා දීමෙන් පසුවයි. ඒ වගේම අපි පසු විපරමක් කරනවා මේ කොම්පෝස්ට් කට්ටල ලබා ගත් අය සැබෑවටම කොම්පෝස්ට් හදනවාද, නැද්ද කියලා.

පහුගිය කාළ සීමාව තුළම බඩු බෙදුවේ ජන්ද ලබා ගන්නනේ, ආණ්ඩුවෙන් මොනවා හරි ප්‍රථිලාභයක් ලබන කෙනාගේ සිතුවිල්ල වෙන්නෙත් මම ජන්දෙට වැඩ කරපු නිසා තමයි මට මේ ප්‍රතිලාභය ලැබුණේ කියලා, ප්‍රතිලාභ ලබා දෙන දේශපාලඥයින්ගේ සිතුවිල්ල වෙන්නෙත් මේවා අපේ අයට තමයි බෙදා දෙන්න ඕන කියන එක.හැබැයි මගේ සිතුවිල්ල ඒක නෙමෙයි.අපි ආණ්ඩුවකින් රජයකින් ප්‍රථිලාභ ලබා දෙන්න ඕන අපේ පුද්ගලයන්ට, අනවශ්‍ය පුද්ගලයින්ට නෙමෙයි, අවශ්‍යතාව තිබෙන පුද්ගලයින්ටයි. අපි දැක්කා පහුගිය කාළය පුරාවටමදේශපාලනයේ තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ආණ්ඩුවේ සල්ලි වලින් දේශපාලඥයෝ බඩු බෙදුවා.ඒ වගේ වැඩ වලින් උදැල්ලක් තිබුණ කෙනාටත් උදැල්ලක් ලැබුණා.ඒ ප්‍රථිලාභ ලබා ගත්ත මිනිහත් දන්නවා තමන්ට මේ ලැබෙන දෙයින් වැඩක් නෑ කියලා.නිකන් දෙන නිසා මේ දේවල් ගන්න පෙළඹෙනවා.මේ විදිහට විනාශ කලේ මේ රටේ සල්ලි.පහුගිය ආණ්ඩුවෙන් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 21 000 කට කොම්පෝස්ට් කට්ටල ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා බෙදලා තිබුණා, නමුත් ඉන් කීයෙන් කීදෙනාද කොම්පෝස්ට් හදන්නේ.අඩුම තරමේ ඒ කොම්පෝස්ට් කට්ටල ලබා ගත් 5000 ක් වත් කොම්පෝස්ට් හදන්නේ නෑ, මේක නිකං තමන් චන්දය දුන්න ඇමතිවරයා, මන්ත්‍රීවරයා යමක් බෙදන ප්‍රතිලාභ පාක්ෂිකයෝ වුවමනා වුණත් නැතත් උදුරලා ගන්නවා.බැරි වෙලා හරි නොදී හිටියොත් තරහත් වෙනවා.මේක තමයි අපේ පුරුද්ද, මේ දේවල් සිදු නොවිය යුතු දේවල්.මොකද මේ ප්‍රථිලාභ දේශපාලඥයෝ ලබා දෙන්නේ තමන්ගේ පුද්ගලික ධනයෙන් නෙමෙයි.මේ සේරම රජයේ සල්ලි, මේ රටේ ජනතාව මිලදී ගන්නා සීනි කිලෝ එකට, පරිප්පු කිලෝ එකට ගහන බද්දෙන් තමයි මේ සියලු දේ කරන්නේ.ආණ්ඩුවක් විදිහට, අපි ඇමතිවරු විදිහට අපේ වගකීම වෙන්නේ ආණ්ඩුවේ මුදල්, ප්‍රථිපාදන නිසි ආකාරව ඵල- ප්‍රයෝජනයක් ගත හැකි පුද්ගලයින් වෙනුවෙන්, අවශ්‍යය පුද්ගලයින් වෙනුවෙන් ලබා දිය යුතු වන්නේ.

අපි හැමදාමත් මැතිවරණ ඉලක්ක කරගෙන බඩු බෙදන සංකල්පයට ගියොත් පාක්ෂිකයොත් බඩු ටික ගනියි, සන්තෝෂෙන් ඉදියි, මැතිවරණයේදී අපිට කතිරය ගහයි.හැබැයි අනාගත දරු පරපුරට ඉන්න රටක් නැති වෙයි.අපි මේ කාළයේ කරන වැඩ වල කිසිම පදනමක් නැති වුණොත් අනාගත දැක්මක්, වැඩපිළිවෙල්ක් නැති වුණොත් එයින් අසාධාරණයක් සිදු වන්නේ අපේ අනාගත දරු පරපුරට.පාක්ෂිකයෝ කරපු කැප කිරීමට, වැඩ වලට සතුටක් ලැබෙයි, අපිට අලවංගුවක්, උදැල්ලක් ලැබුණා කියලා.හැබැයි අනාගත පරපුරට ගොවිතැන නැති වෙයි අනාගතයක් නැති වෙයි, අනාගත දරුවන් අදුරින් අදුරටම යයි.ඒ නිසා අපි රජයෙන් ලබා දෙන ප්‍රථිලාභ ප්‍රයෝජනයක් ඇති අයට ලබා දීමටත්, ප්‍රථිලාභයක් ලබන ප්‍රථිලාභින් එම ප්‍රථිලාභයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නත් කටයුතු කළ යුතුයි.දේශපාලඥයින්ට හැමදාමත් ජනතාව රවට්ටන්නත් බෑ, ජනතාවට හැමදාමත් දේශපාලඥයෝ රවට්ටන්නත් බෑ,අපි දේශපාලනය කරන්න ඒන, රට හදන්න ඕන යැයි වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට රාජාංගනය හා තලාව ප්‍රාදේශිය සභාවේ හිටපු පළාත් පාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හා ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles