Sunday, May 19, 2024

අවාසනාවකට මේ ප්‍රශ්නයට තාම අපිට හරි පිළිතුරක් ලැබුණේ නෑ

යුක්තිය ඉල්ලා තමන්වහන්සේ ඇතුළු කතෝලික සභාව වෙනත් මඟකට යොමුවීමට පෙර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටී.

උන්වහන්සේ එම ඉල්ලීම සිදුකළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මාස 30ක් ගතවීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඊයේ (21) පස්වරුවේ පැවති දිව්‍ය පුජාවකට එක්වෙමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මාස 30ක් ගතවු ඊයේ පස්වරුවේ ප්‍රහාරයෙන් වින්ඳිතභාවයට පත් කටුවපිටිය ප්‍රදේශවාසින් යුක්තිය ඉල්ලීමේ දිව්‍ය පුජාවක් සංවිධානය කර තිබුණි.

ඒ සඳහා සහභාගිවීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම දෙව්මැදුරට පැමිණෙන විට ප්‍රදේශවාසින් යුක්තිය ඉල්ලීමේ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලට විරෝධය පළ කළේය.

අනතුරුව ප්‍රදේශවාසින්ගේ අත්සනින් සකස් කරන ලද යුක්තිය ඉල්ලීමේ සන්දේශයක් ප්‍රදේශවාසීන් විසින් කාදිනල් හිමිපාණන්ට පිළිගන්වනු ලැබුවේ එය රජයට ලබාදෙන ලෙස ඉල්ලමිනි.

“අවාසනාවට අද වෙනකොට සිදුවන පරීක්ෂණය දේශපාලන බලවේගවලට අවශ්‍ය විදියට මෙහෙයවෙමින් සිදුවෙනවා. ඒ නිසා විනිවිද පෙනෙන සාධාරණ ක්‍රියාමාර්ගයක් සිදුනොවන බවයි අපේ විශ්වාසය. ඔබට සාධාරණය ඉටුවෙන තුරු අපි මේ අරගලය අතහරින්නේ නෑ. අපි නැවත නැවතත් මේ රජයෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සත්‍ය එළිදරව් කරන්නට ස්වාධීන අපේ අයටත් සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයේ යාන්ත්‍රණයක් තුළින් මේ පරීක්ෂණ පැවැත්විය යුතුයි. අපිව තල්ලු කරන්න එපා වෙනත් ක්‍රියාමාර්ගවලට යන්න.”

අනතුරුව දිව්‍ය පුජාව කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහිදී අදහස් දැක්වු කාදිනල් හිමියන් මෙසේ පැවසීය.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන් මාස 30ක් ගෙවිලා ගිහින් තියෙනවා. මේ වගේ දෙයක් සිද්ධවුණාම අපි ඔක්කෝම අහන ප්‍රශ්නයක් තියෙනවා නේ. ඇයි දෙයියනේ අපිට මෙහෙම දෙයක් වුණේ. කවුද මේ දේ කළේ කියන එකනේ අහන්නේ. අන්න ඒ ප්‍රශ්නය තමයි මාස 30ක් තිස්සේ අපි අහන්නේ. නමුත් අවාසනාවකට මේ ප්‍රශ්නයට තාම අපිට හරි පිළිතුරක් ලැබුණේ නෑ. කොයි කවුරුත් ඔය සත්‍ය හංගන්න උත්සහ කරාට ඒක හංගන්න බෑ. ඕක හෙළිදරව් වෙනවා. රබර් බෝලයක් වතුර බාල්දියක ඔබලා ඇතුළට තල්ලු කරන්න කොච්චර උත්සහ කළත් ඒ රබර් බෝලය උඩට එනවා වගේ මේක යටහගන්න හම්බෙන්නේ නෑ. එවැනි දෙයකින් දේශපාලන වාසි ලබාගන්න කටයුතු කළ අය කවුද කියන සත්‍යය අපිට හෙළිදරව්වෙනවා දෙවියන් වහන්සේගෙන්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles