Sunday, May 19, 2024

ආණ්ඩුව තුළ සිටිමින් විපක්ෂයේ කාර්ය භාරය ඉටු නොකර විපක්ෂයට ගොස් එය ඉටු කරන්න – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ආණ්ඩුවක් ජනතාව වෙනුවෙන් තීරණයක් ගත්විට එයට විරුද්ධව යම් කිසි පුද්ගලයෙක් කටයුතු කරන්නේනම් ඔහු ආණ්ඩුව තුළ සිටිමින් විපක්ෂයේ කාර්යභාරය නොකර එළියට ගොස් විපක්ෂයේ කාර්යභාරය ඉටු කළ යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (14) මීගමුව නගර ශාලාවේ පැවති  “සිව් දෙස සුරැකි සිව් වසර” තේමාව කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීගමුව බල මණ්ඩලය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට මොකද වුනේ. තීන්දුවක් ගන්නකොට එක පැත්තක් විරුද්ධ වෙනවා. අන්තිමට මොකද වුනේ. රටම නැතිවෙලා ගියා. ඒ නිසා ආණ්ඩුව ගනු ලබන තීරණවල  විවේචනවක් තියෙනවනම් අමාත්‍ය මණ්ඩලයේදී හෝ නායකත්වය සමග සාකච්ජා කොට විසදාගන්නේ නැතිව, වොයිස් කට් දීලා හරි යන්නේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ගමේ පාක්ෂිකයක්ගෙන් සැදුම් ලත් ශක්තිමත් පක්ෂයක්. ඒ නිසා මේ පක්ෂය වට්ටන්න කාටවත් බැහැ. සමහර අය කොළඹට වෙලා වොයිස් කට් දෙනවා. ගමේ එක්කෙනෙක් නැහැ. ජන්ද 10 ක් නැහැ. ගමේ ජාලයක් නැතිව, ආසන බල මණ්ඩල නැතිව රටේ නායකයෙක් වෙන්න බැහැ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතිවාදී නැහැ. අන්තවාදී නැහැ. අධිරාජ්‍ය විරෝධී නැහැ. අපිට ඕනේ සියලු ජාතීන්, සියලු රටවල් එකතුකරගෙන සුහද ගමනක් යන්න. ගෝලීය ආර්ථිකයත් එකක් එකතුවෙලා, ගෝලීය ආර්ථික ජාලත් එකක් එකතුවෙලා රට ඉදිරියට ගෙනියන්න. අපිට තවත් උතුරු කොරියාවක් වෙන්න බැහැ. අපි අනිත් රටවල් එක්ක සාමුහිකව ගමන් කරන්න ඕනේ. රටේ ආර්ථිකය ශක්තිමත් කරලා, රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. සමහරු බොරුවට අධිරාජ්‍යවාදයට විරුද්ධ වුනාට අදින්නේ එංගලන්තේ ඇදුම්, සෙරෙප්පු ජර්මනියේ. මේ අය බොරුවට ජාතිය, දේශය ගැන කතා කරලා ලංකාවේ මිලියන 22 ක් ජනතාව දුප්පත් කරවනවා. 

අපි ජාතියට ආදරය කරනවා. හැබැයි ජාතීවාදීන් නෙමේ. ජාතීන් අනුව වෙන් කරන්න කියලා අවුරුදු 30 ක් යුද්ධ කර ගත්තා. මේ රටේ සියලු ආර්ථික මරමස්ථාන නැතිවුනා. සමහර පක්ෂ අරගල කරන්න ගිහින් රාජ්‍ය ආයතන පාඩු වුනා. ඒකෙන් පාඩු වුනේ කාටද රටේ ජනතාවට. හැබැයි එහෙම කරපු අයට එන්ජිඕ සල්ලි එනවා, පිටරට ඩොලර් එනවා.  

ගමේ පාක්ෂිකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගැන ජනතාව තීන්දු කරයි. මේකේ නායකයා ගරු මහින්ද රාජපක්ෂ මහතා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරලා තියෙනවා. නායකයෝ දෙන්නා තීරණය කරයි මොකද කරන්න ඕනේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාට තනතුරක් ඕනේ නම් ඒක සහෝදරයෝ දෙන්නා බලා ගනියි. ගමේ පාක්ෂිකයෝ ඒක තීරණය කරයි. පොදුජන පෙරමුණ හදන්න විරුද්ධ වුන අය ඒක තීරණය කරන්න ඕනේ නැහැ. එයාලට ඒකට කිසිම අයිතියක් නැතැයි”. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ඇතුළු කථිකයින් මෙහිදී අදහස් දැක්වූ අතර මීගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ මහතා, නාගරික මන්ත්‍රීවරු, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles