Wednesday, December 25, 2024

ඉන්දියාව පළමු ජය ලබයි

ලෝකු කුසලාන 20- 20 ශූරතා තරගාවලියේ 33 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 66 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මින් පෙර පැවැති තරගවලදී පාකිස්ථානය සහ නවසීලන්තය හමුවේ පරාජයට පත් වූ ඉන්දියාව මෙවර තරගාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. ලකුණු 65 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 දී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක මොහොමඩ් නබී (53) සහ කරීම් ජානත් (නොදැවී 42) සමත් වුවද, ඇෆ්ඝනිස්ථානය පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

මෙවර තරගාවලියේදී සිය පළමු තරගයට ක්‍රීඩා කළ රවිචන්ද්‍රන් අෂ්වින් සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදී පිතිකරුවන් මහත් අසීරු තත්ත්වයකට ඇද දමමිනි. ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා අෂ්වින්ට අනගි සහායක් දුන් මොහොමඩ් සාමි ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිතිකරුවෝ අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින් ඕවර 20 අවසාන‍යේ කඩුලු 2 ක් දැවී ලකුණු 210 ක් ලබාගත්තේය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 140 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලෝකේෂ් රාහුල් (69) සහ රෝහිත් ශර්මා (74) ඉන්දීය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 48 කට මුහුණදුන් රාහුල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 47 කට මුහුණදුන් ශර්මා හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කළේය. කරීම් ජානත්ගේ පන්දුවක් හමුවේ මොහොමඩ් නබි අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවන පත් වූ අතර එතැන් පටන් ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 7 ක් එක් වන විට රාහුල්ලේ කඩුල්ලත් බිඳ දැමීමට ගුලාබ්දීන් නයිබ් සමත් විය.

ඉන් අනතුරුව පිටියේ එක්වූ රිෂාබ් පාන්ට් (නොදැවී 27) සහ හර්දීක් පාණ්ඩ්‍යා (නොදැවී 35) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 63 ක් එක්කරමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ පාන්ට් පන්දු 13 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින්ද, පාණ්ඩ්‍යා හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින්ද ලකුණු රැස්කළහ.

එහිදී වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක්‍ගේ ඕවර 4 න් ලකුණු 59 ක් උදුරාගත් ඉන්දීය පිතිකරුවෝ, හමීඩ් හසන්ගේ, ගුලාබ්දීන් නයිබ්ගේ සහ රෂීඩ් ඛාන්ගේ ඕවරවලදී ලකුණු 30 කට වැඩියෙන් රැස්කළහ

ඉන්දියාව – ඕවර 20 කදී කඩුලු 2 කට 210
(ලෝකේෂ් රාහුල් 69, රෝහිත් ශර්මා 74, රිෂාබ් පාන්ට් නොදැවී 27, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 35)

ඇෆ්ඝනිස්ථානය – ඕවර 20 කදී කඩුලු 7 කට 144
(හස්රතුල්ලා සසායි 13, රාහ්මතුල්ලා ගුර්බාස් 19, ගුලාබ්දීන නයිබ් 18, මොහොමඩ් නබී 35, කරීම් ජානත් නොදැවී 42, මොහොමඩ් සාමි 32/3, රවිචන්ද්‍රන් අෂ්වින් 14/2)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles