Thursday, May 16, 2024

උඩවලවට සමනල වැවෙන් වතුර එයි.!

උඩවලව ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 926 දක්වා මේවනවිට පහළ ගොස් තිබෙනවා.

එය සියයට බින්දුවයි දශම 4යි 8ක ප්‍රතිශතයක්. එබැවින් ජනතාව එය නැරඹීමට පැමිණෙමින් සිටිනවා.

මේ අතර සිය වගාවන් සඳහා උඩවලව ජලාශය හරහා ජලය නිකුත් කරන ලෙස ඉල්ලා වලව ව්‍යාපාරයේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය 15වන දිනටත් අද ක්‍රියාත්මකයි.

කුඹුරු සඳහා ජලය නිකුත් නොකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවේ අද පැමිණිල්ලක්ද ගොනු කළා.

පවත්නා උද්ඝෝෂණ සහ ජල අවශ්‍යතා වලට පිළියමක් ලෙස කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අවශ්‍ය ජලය සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත නිකුත් කරන ලෙසට අදාළ බලධාරීන්ට මේ වන විටත් දැනුම්දී ඇති බවයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසුවේ.

එමෙන්ම ජාතික විදුලිබල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ජලය සමනළවැව ජලාශයෙන් නිකුත් කිරීමට සහ විදුලිබල උත්පාදනයට සිදුවන බලපෑම කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ඊට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබෙනවා.

එහිදී ඉදිරිපත්වූ යෝජනා අමාත්‍ය කංචන විජේසේකර විසින් අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසුවේ.

අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලියද ලබාදෙන බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles