Saturday, May 18, 2024

ක්‍රිස් ගේල් IPL තරගාවලියෙන් ඉවත් වෙයි

බටහිර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් IPL තරගාවලියෙන් ඉවත් වී ඇති බව පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ බළධාරීන් පවසනවා. ඉදිරියේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියට නිරවුල් මානසිකත්වයකින් අවතීර්ණ වීම සඳහා IPL ජෛව ආරක්ෂක බුබුළෙන් ඉවත්වීමට සිය කණ්ඩාය‍මේ බළධාරීන්ගෙන් ගේල් ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා අවසර ලබා දී තිබෙනවා.

ක්‍රිස් ගේල් පවසන්නේ පසුගිය මාස කිහිපය පුරාම ජෛව ආරක්ෂක බුබුළ තුළ කාලය ගතකළ බවයි. IPL තරගාවලිය සඳහා ඔහු පැමිණියේ කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගිවීමෙන් අනතුරුවයි. ඊට පෙර කොදෙව් ජාතික කණ්ඩායමේ ජෛව බුබුළ තුළ ඔහු සිටි අතර මේ නිසා ජෛව බුබුළෙන් මිදී සාමාන්‍ය සමාජය තුළ දින කිහිපයක් හෝ ගතකිරීම මානසික සහනයක් වනු ඇති බවයි ගේල් පවසන්නේ.

20/20 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සියල්ලටම වඩා වැදගත් වන බවත්, ඒ අනුව ජෛව ආරක්ෂක බුබුළෙන් මිදී දින කිහිපයක් නිදහසේ ඩුබායිහි ගතකිරීම තමාගේ බලාපොරොත්තුව බවත් ඔහු පවසයි.

මෙම වසරේදී ගේල් 20/20 පිටියේ අතිශය කාර්බහුල ක්‍රීඩකයෙකු වූ අතර තරග 37 කට සහභාගි වී තිබෙනවා. ඔහුට වඩා වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙන්නේ ක්‍රීඩකයන් හය දෙනෙකු පමණි.

42 හැවිරිදි වියේ පසුවන ක්‍රිස් ගේල් IPL‍ දෙවැනි අදියරේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරග දෙකකට ක්‍රීඩා කළ නමුත් කැපී පෙනෙන තරමේ දක්ෂතා දැක්වීමට අසමත් විය. සන්රයිස් පිළට එරෙහිව ලකුණු 14 ක් පමණක් ලබාගත් අතර මුම්බායි සමග තරගයේදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 01 ක් පමණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles