Thursday, September 19, 2024

කොදෙව්වෝ තියුණු ජයකින් බංග්ලාදේශය පරදවයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ අද (29දා) පැවති තරගයකින් බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ කොදෙව්වන් ලැබූ පළමු ජය මෙය වන අතර, බංග්ලාදේශයට අත්විඳීමට වූ තෙවැනි පරාජයද මෙය වෙයි.

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කොදෙව්වන් ලබාදුන් ලකුණු 143ක අභියෝගය සාර්ථක කරගැනීමට බංග්ලාදේශ පිතිකරුවන්ට නොහැකි විය.

තරගයේ අවසන් පන්දුවාරය දක්වා ජයග්‍රාහකයා තීරණය කළ නොහැකි තරමට තීරණාත්මක වූ මෙම තරගයේ අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් ඉතිරිව තිබුණි. නමුත් අන්ඩ්‍රි රසල් යොමුකළ එම පන්දුවාරයේදී ඔවුන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 09ක් පමණි.

බංග්ලාදේශය වෙනුවෙන් ලිටන් දාස් පන්දු 43කදී ලකුණු 44ක් රැස්කළ අතර, ඉනිම අවසන් වනතෙක් රැඳී සිටි නායක මහමදුල්ලා පන්දු 24කදී ලකුණු 31ක් රැස්කරගෙන සිටියේය.

බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බ.ඉ. කොදෙව්වන් පන්දුවාර 20 අවසනදී කඩුලු 07ක් දැවී ලකුණු 142ක් රැස්කිරීමට සමත් විය.

මන්දගාමී ආරම්භයකින් ඇරඹි කොදෙව් ඉනිම තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය නිකලස් පුරාන් අංක 07 පිතිකරු ලෙස පිටියට පිවිස පන්දු 22කදී ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා එක් හතරේ පහරක් ඇතුළත් විය.

ඔහුට අමතරව මෙම තරගයේදී ජාත්‍යන්තර විස්සයි20 වරම් හිමිකරගත් රොස්ටන් චේස් ඉවසිලිවන්ත ලකුණු 39ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට පන්දු 46ක් ක්‍රීඩාකර තිබුණි.

කොදෙව් ඉනිම ක්‍රිස් ගේල් හා එවින් ලුවිස් විසින් ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනාටම වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි විය.

තරගයේ වීරයා ලෙස නිකලස් පුරාන් සම්මාන දිනාගත්තේය.

මෙය විස්සයි20 තරග ඉතිහාසයේ අඩුම ලකුණු පරතයක් සහිතව කොදෙව්වන් දිනූ දෙවැනි ජයග්‍රහණය වෙයි. 2016 වසරේදී ඉන්දියාව එක් ලකුණකින් පරාජය කිරීම ඔවුන් අඩුම ලකුණු පරතරයක් සහිතව ලබා තිබූ ජයග්‍රහණය වෙයි.

මෙවර ලෝක කුසලාන සුපිරි 12 වටයේදී බංග්ලාදේශ නායක මහමදුල්ලාහ් අවස්ථා දෙකකදී කාසියේ වාසිය දිනා ඇති අතර, එම දෙවතාවේම ඔහුගේ කණ්ඩායම පරාජය වී ඇත. කෙසේ නමුත් අනෙක් නායකයන් අවස්ථා 09කදී කාසියේ වාසිය දිනා, එම අවස්ථා නවයේදීම ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles