Saturday, May 18, 2024

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු අද (12) කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ දී ආරම්භ විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඩොලර් මිලියන 510 ක මූලික ආයෝජනයක් සිදුකෙරෙනවා.

අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතය.

හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර (STC) 12ක් සහ රේල් පීලි මත දිවෙන ග්‍රැන්ටි දොඹකර (RMG) 40ක් සමග අංගසම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 510ක් වන අතර වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරයි. ඇක්සස් ඉංජිනේරු පී.එල්.සී. (Access Engineering PLC) සහ චයිනා හාබර් ඉංජිනේරු (China Harbour Engineering Company LTD) සමාගම්  එක්ව ඉදිකිරීම් සිදු කරයි.

ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීමේ ඇල්ෆලයිනර් නිර්නායකයට අනුව මේ වන විට කොළඹ වරාය 23 වන ස්ථානයේ පසුවේ. නව සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එය 13 වන ස්ථානයට පත්වනු ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

 මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles