Sunday, May 19, 2024

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ගැන නීතිපතිවරයාට සැකයක්

මෑතකදී සිදු වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය ඖෂධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවකට සිදු වූ සිද්ධියක්  විය හැකි බව නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී . 

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද දින කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව පවසා සිටියා .

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන යාමේ වගකීම එපික් ලංකා නැමැති පෞද්ගලික සමාගම විසින් වසර පහක කාලයක් සඳහා භාර ගෙන තිබූ බවත් එම වගකීම එම ආයතනය විසින් පැහැර හැර ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියා.

එම සමාගමේ නොසැලකිලිමත්කම දත්ත වලට අදාළව Back up එකක් පවත්වාගෙන නොයෑමෙන්ම පැහැදිලි වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ පවසා සිටියා .

ඇතැම් ඖෂධ සමාගම් එකම ඖෂධය විවිධ නම් වලින් ආනයනය කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඖෂධ වල සංයුතිය පිළිබඳ දත්ත ගබඩා කොට තිබෙන්නේ දැනට මැකී ගොස් තිබෙන පරිගණක දත්ත ගබඩාවේ බව සඳහන් කර සිටියා .

දත්ත ගබඩාව මැකී යාම නිසා ඖෂධ සමාගම්වලට අවශ්‍ය පරිදි  ඖෂධ වල මිල ගනන් තීරණය  කිරීමට හැකියාවක් ලැබී ඇති  බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කර සිටියා.

මේ අතර  දත්ත ගබඩාව යාවත්කාලීන කිරීම වළක්වාලමින් පසුගිය දා නිකුත් කර තිබූ නියෝගය අත් හිටුවීමට  ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර දත්ත ගබඩාව  යාවත්කාලීන කිරීමේ කටයුතු සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කොට සිදු කළ යුතු බව අවධාරණය කර සිටියා .

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය දෙසැම්බර් මස 09 වනදාට කල් තබන ලදී . 

විමර්ශන වලට අදාළ ප්‍රගතිය මීළඟ දින ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles