Thursday, January 16, 2025

ඩොලර් නැත්නම් තෙල් නෑ.තෙල් නැත්නම් කරන්ටි නෑ . – ඩොලර් නැතුව ලොකුගේ ගම්මන්පිල ගැටෙයි

කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් තුන්දහසක් මේ වන විට ලැබී ඇති නිසා හෙට දිනය දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දිය හැකි බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.

22 වැනිදා දක්වා ඉන්ධන ලබා ගැනීමට තෙල් සංස්ථාව සමග සාකච්ඡා කරන බවද පැවසූ ඔහු ඉන්ධන නොලැබුණහොත් පමණක් විදුලිය විසන්ධි කිරීමට තීරණය ගැනීමට සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබාදෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බවයි.

එමෙන්ම ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමග අද (17) දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ ඊයේ (16) ප්‍රකාශ කර සිටියා.

එයට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව අවශ්‍ය ඩොලර් ලබා දීම බවයි.

අදින් පසුව ඩොලර් නොමැතිව ඉන්ධන ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.

මෙරට ඉන්ධන නොමැතිකම හේතුවෙන්, විදුලි බලාගාර කිහිපයක් ම ගිය සතියේ නතර වූ අතර, ඒවා යථා තත්ත්යට පත්කර ගැනීමට ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකක දී ලබා දුන් බවත් ඔහු තවදුරටත් සදහන් කළේය.

බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, මෙලෙස විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග පිළිබඳව කලින් දැනුවත් කළ යුතු බවයි.ඩොලර් ලබාදුන් පසුවද ඉන්ධන ආනයනය සදහා සතියක පමණ කාලයක් ගතවන බව ඊට හේතුව ලෙස අමාත්‍යවරයා සදහන් කළේය.

මෙරට විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බව අමාත්‍යවරයා සදහන් කළේය.යම් හෙයකින් දැනට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග විදුලිය නිෂ්පාදනයට ලබා දුන හොත් ඉදිරි සතියකින් පමණ මෙරට දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා නිකුත් කිරීමට ඉන්ධන තොග නැතිව යන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙරට දිනකට පැය දෙක තුනක් විදුලිය කපා හැර මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකි වුව ද ‍රථ වාහන අවශ්‍යතා සඳහා එවැනි විකල්ප වැඩපිලිවෙළක් කරා යොමු වීමේ හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

දැනට ඉතිරි ව ඇත්තේ, පැහැදිලි විකල්ප දෙකක් පමණක් බව පවසන ඔහු පෙන්වා දෙන්නේ, එක්කෝ විදුලිය නිෂ්පාදනය කර ජනතාව පයින් ගමන හුරුවිය යුතු බව හෝ නැතිනම් පැය කිහිපයක් අඳුරේ සිට නිසි කළමනාකරණයකින් යුතුව එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම බව.

විදුලිබල මණ්ඩලයට වරින් වර ලබා දී ඇති ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 920ක මුදලක් බලශක්තිය අමාත්‍යාංශයට ලබා දිය යුතු බව අමාත්‍යවරයා සදහන් කළේය.තවද ශ්‍රී ලංකන් ගුවන් සමාගමද රුපියල් කෝටි 650ක ඉන්ධන බලශක්ති අමාත්‍යංශයෙන් ණයට ලබාගෙන ඇති බවද ඔහු සදහන් කළේය.

මෙරට ඉදිරියේදී බොහෝ විට පෙබරවාරි මස මුල සිට පැය හතරක පමණ කාලයක විදුලිය කප්පාදුවක් සිදු විය හැකි බවටත් ඔහු අනතුරු අඟවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles