Saturday, May 18, 2024

ඩොලරුත් නැත. රුපියලුත් නැත. ආණ්ඩුව බැංකු පද්ධතියට ණය වෙමින් අධික සංවර්ධනයක

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

බැසිල් රාජපක්ෂ මහතා ග්‍රාමසේවක වසම් 14,000 ක වැඩ ලක්ෂයක් ආරම්භ කර ඇත. අය වැය අනුව මෙවර ප්‍රාග්ධන වියදම ගිය වසරට (2021) වඩා දෙගුණයකි. ආසන්නයෙන් බිලියන 1000 කි ! එය පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම හා එයට වැඩ ලක්ෂය ද ඇතුළත්ව ඇත. ඒ අතරේ මහා මාර්ග ඇමතිතුමා එක දිගට විවිධ වෙනස්කම් කරමින්, කැබිනට් පත්‍රිකා දමමින් අධිවේගී මාර්ග පද්ධතිය තව තවත් දිගු කිරීමට යෝජනා කරමින් ඇත. ඒ අනුව කුරුණෑගල, දඹුල්ල අධිවේගී මාර්ගයට බලාපොරොත්තු වූ එංගලන්න (රවුටන්) අරමුදල් නොලැබීම නිසා එය ගලේවෙලට සීමා කර, චීන සමාගම් හවුලකට පවරා ඇත. කෙසේ වෙතත් රඹුක්කන-ගලගෙදර අධිවේගී මාර්ගය සඳහා ඉදිරිපත් වූ චීන සමාගම ඉවතලා එය දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී ඇත. මේ දේශප්‍රේමී තීරණයට හේතුව අදාල සමාගම (MCC) කඩවත-මීරිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ උපකොන්ත්‍රාත්තු ඇමතිවරයාට රුචි අයුරින් වෙනස් නොකිරීමදැයි සොයා බැලිය යුතුය.

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිතුමාට (විජේවර්ධන මහතා) අනුව (Colombo Telegraph) මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 කට ආසන්න හිඟයකි. මහ බැංකුවේ ගණුදෙනු කල හැකි විදේශ සංචිත ප්‍රමාණයද පවතින්නේ ඇ.ඩො.මි.500 ආසන්නයේය. මහ බැංකුවද ඇතුළුව, සියලුම බැංකු පද්ධති ගත්කල මෙය ඩොලර් බිලියන 4.5 කට ආසන්න හිඟයකි. එනම්, සෘණ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයකි. මහ බැංකුවේ දත්ත පද්ධතියට අනුව 2022 පෙබරවාරි 03 දාට මහ බැංකුවේ රුපියල් හිඟය, රුපියල් බිලියන 579 කි ! මහ බැංකුවට අමතරව රාජ්‍ය බැංකු හා පුද්ගලික බැංකු වෙතින් ආණ්ඩුව හා ආණ්ඩුවේ ආයතන ලබාගෙන ඇති ණය හා ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 5,000 කට ආසන්නය. මෙය රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු දේශීය වශයෙන් ලබාදී ඇති ණය වලින් 52%කි.

මහබැංකුව ඇතුළු රටේ බැංකු පද්ධතියට ඩොලරුත් නැත. රුපියලුත් නැත. ඒ අතරේ රටේ වාර්ෂික ආදායම මෙන් දෙගුණයකටත් අධික ප්‍රමාණයකින් ආණ්ඩුව බැංකු පද්ධතියට ණය වී ඇත.

ඒ තත්ත්වය යටතේ අධිවේගී මාර්ග සඳහා තවත් බිලියන සිය ගණන් මුදල් සපයා ගන්නේ කෙසේද ?

මේ සඳහා එක්තරා පුද්ගලික ණයවර සමාගමක් යොදාගැනීමට ද, එකී සමාගමට රජය සතු ‘සෙලෙන්දිවා’ දේපොළ ඇපයට තැබීමේ උත්සාහයක් ද වාර්තා වී ඇත. එනම් විදේශ අමාත්‍යාංශය, ගුවන් හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, ලංකා බැංකු හා මහජන බැංකු මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක් ද ආණ්ඩුව සිදු කිරීමට යන්නේ ? අධිවේගී මාර්ග වියදමෙන් 1/3 ක් පමණ විදේශ වලින් ආනයනය කරනා, ඩොලර් වලින් ගෙවිය යුතු බිල් වන අතර ඒවාට කිසිදු බදු මුදලක් අය කරන්නේද නැත.

අධිවේගී මාර්ග රටේ සංවර්ධනයට අවශ්‍ය වුවත් අද රට හා ආණ්ඩුව වැටී ඇත්තේ අධිවේගී මාර්ග තැනීම කිසිම අයුරකින් ප්‍රමුඛතාවයක් කොට සලකන තත්ත්වයක නොවේ.

රටේ පැනඩෝල්, ඇන්ටිජන් කිට් ඇතුළු ඖෂධ 80 ක හිගයක් පවතී. තෙල් නැති නිසා විදුලි බලාගාර වැසී ඇත. තෙල් මිල සිතු සේ ඉහළ දමනා අතර විදුලිය කපා හැරේ. රටේ කිරිපිටි නැත. ගොවියාට පොහොර නැත. බඩුමිල සිය ඉතිහාසයේ වාර්තාගත ලෙස වැඩිවීම (25%) ජනවාරියේ වාර්තා කළේය. අධිවේගී මාර්ග හැරුණු කොට රටේ අනෙක් ඉදිකිරීම් සඳහා සිමෙන්ති හෝ යකඩ නැත. එන්න එන්නම ඩොලර් හා රුපියල් අර්බුදය උග්‍රවෙත්දී, ජනතාවට තෙල් හිඟනම් බයිසිකල් වලින් යන්නයැයි උපදෙස් දී අධිවේගී මාර්ගවලට තව තවත් රට ණය කරන්නේ ඇයි ? මේ කොමිස් සඳහා කරන සංවර්ධනයක් ද ? එසේ නම් මේ කොල්ලය නතර කරන්නේ කවදාද ?

ජනතාව, නිදහස් දා සිදුකළ කෝටි සිය ගණනක් වැය වූ ගිනි අවි සැණකෙලියට ජාතික කොඩි ඔසවන්නේ නැතිව අහිංසක විරෝධයක් පළ කළේය. එය සිදුවූයේ සුදුසු දිනයක් නම් නොවේ. නමුත් ජනතාව වැඩ ලක්ෂය හරහා ගමේ පොඩි හොරු ලක්ෂයක් තැනීමේ හා අධිවේගී මාර්ග හරහා මෙගා හොරු තැනීමේ ක්‍රියාවලියට ඉක්මනින්ම රතු කොඩිය එසවිය යුතුව ඇත.

මෙි අතර චමිපික රණවක මහතා පවසන්නේ රාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF  අරමුදල් වලට ද අත තියන්නට පටන්ගෙන ඇති බවයි

තවත් මාධ්‍ය හමුවක දී වැඩි දුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ රට තුළ මූල්‍ය අර්බුදයත් බලශක්ති අර්බුදයත් ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇති බවය.

“මේ දවස් වල ඉන්ධන මිලේ යම් ඉහළ යාමක් ලෝක වෙළඳපොලේ තිබුණත් විශේෂ පෙට්‍රල් වලින් රු. 60-80 අතර බදු අයකර ගැනීමක් කරනවා. ඩීසල් ලීටරයකින් රු.20-30 අතර බදු අයකර ගැනීමක් කරනවා. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන ඩීසල් සහ අනෙකුත් දැවි තෙල් වල මිල ගණන් එක්ක බලනකොට, අද ලංකා විදුලිබල මණ්ඩලය ඉතාම දරුණු මූල්‍ය අර්බුදයක ඉන්නේ. ඒ වගේම, කොහොමහරි විසිහතර පැයම විදුලිය දෙන්න දැන් දීලා තියෙන නියෝග ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා, 85% තිබුණු ජලවිදුලි තත්වය 50% ට වැටිලා තියෙනවා.”

නිරිත දිග මෝසම අනුව වැසි බලාපොරොත්තු විය හැක්කේ මැයි මාසයේදී ය. නමුත් මාර්තු අග වනවිට  අතිශය බරපතළ ලෙස ජල විදුලි අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. කිසිම දෙයක සැලසුමකින් තොරව ලංකාව ගමන් කරමින් තිබේ.

බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරකය. තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙන ණය වලින් 52%ක් ම ලංකා ආණ්ඩුව විසින් ලබාගෙන තිබේ. අනෙකුත් තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන්නේ 48% ක් පමණි. රාජ්‍ය බැංකු පද්ධතිය, පතුලටම හූරා කෑමෙන් නොනැවතී ආණ්ඩුව සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වලට ද අත තැබීමට කටයුතු කරගෙන යයි.

“EPF, ETF වලින් 25% ක බද්දක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කියනවා. ඒකටත් අත තියන්න යන්නේ. කොහොමත් EPF, ETF අරමුදල ඉතාමත්ම පහළ මට්ටමෙන් යොදා ගත්තා මහ බැංකුව විසින්. තමන්ට ඕන ආකාරයට රටේ පොලී අනුපාතය හසුරුවන්න. ඒ නිසා EPF, ETF වලට දායක වෙලා ඉන්න දස ලක්ෂ සංඛ්‍යාත පිරිස් වලට විශාල අසාධාරණයක් දැනටමත් සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අඩු පොළි පවත්වාගෙන යන්නේ EPF, ETF අරමුදල් පාවිච්චි කරපු නිසා. දැන් ඒකට කොරේ පිටට මරේ කිව්වා වගේ ඒ ජනතාව මත්තේම තවත් බදු ප්‍රමාණයක් ඇතුළත් කරගැනීම තමයි මෙයින් සිදුවෙන්නේ.”

රටේ භාවිත කළ හැකි, ඩොලර් බවට පත් කළ හැකි සංචිත ප්‍රමාණය භයානක ලෙස පහත වැටී තිබේ. ඉතිරිව ඇත්තේ  ඩොලර් මිලියන 500 ක පමණ ප්‍රමාණයකි. කිසිම විසඳුමකින් තොරව අතමාරු හරහා ගමන් කරමින් සිටින අතරේ වැඩ ලක්ෂයක් කියමින් බිලියන සිය ගණනක් වියදම් කරමින් පවතී. අධිවේගී මාර්ග පද්ධතිය සඳහා දේශීය ආයෝජකයින්ට ණය ලබාදීමට යයි.

“මේවා ඇත්තටම අද මේ රටේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි.  පෙබරවාරි 3 දා මහ බැංකුවේ රුපියල් හිඟය රු. බිලියන 579 ක්. මහ බැංකු වාර්තා අනුව මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 1.9 ක්. සමස්ත බැංකු පද්ධතිය  සෘණ ඩොලර් බිලියන 4.5 ක්.”

මාර්තු මාසය වන විට අස්වැන්න පිළිබඳව තියෙන යථාර්ථය එළිවනු ඇති බව ද රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඉන් පසු සල් මිල මීටත් වඩා විශාල වශයෙන් ඉහළ යනු ඇත. ඊට පිළියමක් ලෙස දැන් කරන්නේ අතේ තිබෙන ඩොලර් ටික පාවිච්චි කොට මියන්මාරයෙන් ඉන්දියාවෙන් හාල් ගෙන්වීමට යාමය.

“ශ්‍රී ලාංකීය ගොවියා වට්ටලා විදේශ ගොවියාට සහන දෙන මට්ටම තමයි අපට අද පේන්න තියෙන්නේ. ඉතින් මේ ඉදිරියේ ආණ්ඩුව දැන් බොහොම බලගතු ආකාරයට වියරු වැටිලා තියෙනවා. තමන්ගේ බලය අහිමි වීම පිළිබඳව.හිතනවා මේ ගම්වලට ආයෝජනය කරලා ගම්වල ජනමතය උදුරා ගන්න පුළුවන් වෙයි. හැබැයි මතක තියා ගත යුතුයි. ඉදිරි මාස කිහිපය ඇතුලත ලංකාව බරපතල ආර්ථික අර්බුදයකින් මූල්‍ය අර්බුදයකින් බිඳ වැටෙන්න යන්නේ. ඒ තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා වහාම අප විසින් ඉදිරිපත් කරන ලද කරුණු පහකින් යුතු ඒ කොළ එළි පහ; ඒ සැලසුම ක්‍රියාත්මක කළ යුතුයි” පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles